May 9, 2024

මෙරට සිවිල් යුද්ධය අවසන් වී බොහෝ කලකට පසුව පවා මෙරට ආරක්ෂක හමුදා විසින් සුළුතරය වන දෙමළ පිරිමින් සහ කාන්තාවන් පැහැරගෙන ගොස් අත්අඩංගුවේ සිටියදී වධහිංසා පමුණුවා ඇති බව මානව හිමිකම් කණ්ඩායමක් නව වාර්තාවකින් පවසයි.

බෙදුම්වාදී දෙමළ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර 26 වසරක සිවිල් යුද්ධය 2009 වසරේදී අවසන් විය.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 80,000-100,000ත් අතර පිරිසක් මිය ගිය ගැටුමේදී පාර්ශ්වයම අපයෝජනය කළ බවට අයිතිවාසිකම් කණ්ඩායම් චෝදනා කර තිබේ.

2015- 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන අපයෝජනයන් ලේඛනගත කරමින් ලන්ඩන් නුවර පදනම් වූ අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සිය වාර්තාවේ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් තමන්ට පහර දී, පුළුස්සා, හුස්ම හිර කර, ලිංගික අතවර කළ බව පැවසූ දෙමළ ජාතිකයන් 123 දෙනෙකුගේ තොරතුරු උපුටා දක්වයි.

මෙම චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව රජයේ ඇමැතිවරයෙක් ඊයේ ප්‍රකාශ කළේය.

අද දිනයේ ප්‍රකාශයට පත් කෙරෙන ‘2015-2022 අතර සමයේ අතුරුදහන් කිරීම, වධහිංසා පැමිණවීම සහ දෙමළ ජනයාගේ ලිංගික ප්‍රචණ්ඩත්වය’ යන මාතෘකාවෙන් යුත් වාර්තාවේ සඳහන් වන්නේ රඳවාගෙන සිටි බව කියනු ලබන 123 දෙනාගෙන් 11 දෙනෙකු එම තත්ත්වයන්ට මුහුණදී ඇත්තේ 2022 ජූලි මාසයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව බවයි.

වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කරනු ලැබුවේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් ඇති වූ මහා පරිමාණ විරෝධතා මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පළා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි.

අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා Yasmin Sooka පැවසුවේ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සමඟ කටයුතු කිරීමට සහ දෙමළ ජනතාවට එරෙහි මෙම ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතියට වගකිව යුතු නිලධාරීන් මුලිනුපුටා දැමීමට අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට වැඩි බලපෑමක් නොකළහොත් එය නැවැත්විය නොහැකි වනු ඇති බවයි.

වාර්තාව පිළිබඳව රොයිටර්ස් කළ විමසීමකදී විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පැවසුවේ, යුද්ධය අවසන් වූ දා සිට මානව හිමිකම් ගැටලු විසඳීමට සහ දෙමළ අයිතිකරුවන්ට ඉඩම් නිදහස් කිරීම, හමුදාව කඳවුරුවලට සීමා කිරීම ඇතුළු සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමසහ රටේ උතුරු හා නැඟෙනහිර, සහ අතුරුදන් වූවන් පිළිබඳ වාර්තා වූ සිද්ධීන් පිළිබඳ සොයා බැලීම සඳහා නිලධාරීන් පත් කිරීමට ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන ඇති බවයි.

“අපි මානව හිමිකම් දෙස බලන්නේ අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙසයි… ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු අන්තර්ජාතික හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට අපි කැපවී සිටිනවා,” යනුවෙන් බාලසූරිය වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ දක්වා ඇති පරිදි සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%