March 21, 2024

පැහැර හරින ලද ගෝලීය බැඳුම්කර ඩොලර් බිලියන 12ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉලක්ක කර ගනිමින් ගෝලීය ආයෝජකයන් සහ ශ්‍රී ලංකා නිලධාරීන් ලබන සතියේ දී සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

මේ වනවිට මෙරට ඩොලර් බැඳුම්කර ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

2022 වසරේ සිට පැහැරහැර ඇති විදේශ ණය නැවත සකස්කිරීම සඳහා රජයෙන් යෝජනාවක් ඉදිරිපත්වීමේ දී මෙහෙයුම් කමිටුවක් ලෙස හැඳින්වෙන බැඳුම්කර හිමියන් පිරිසක් සාකච්ඡා ආරම්භ කරන බව පැවසුණ ද සාකච්ඡා පෞද්ගලික බැවින් එය හෙළිකිරීම ප්‍රතික්ෂේප විය.

විශේෂයෙන්ම මේ වසර අගදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ඉක්මනින් ගිවිසුමකට එළැඹීම ඉලක්කය වී ඇති බව පැවසිණි.

මෙරට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීම සඳහා යුරෝපයට යෑමට නියමිත බව ජනාධිපතිවරයා සිය මාධ්‍ය ඒකකය මගින් පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් බවට ප්‍රකාශයක් ලැබීමෙන් පසු, අප්‍රේල් මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ ඒකාබද්ධ සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වනවා. ජූනි-ජූලි වන විට මේ සියලු කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වනවා” යනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ එම නිවේදනයේ සඳහන් කර ඇත.

බැඳුම්කර සහ ණය ඇතුළුව ඩොලර් බිලියන 27ක විදේශ ණය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය මාසයේ ඩොලර් බැඳුම්කර හිමියන්ට යෝජනාවක් යවා තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇපදීමෙන් මූල්‍ය සම්පාදනය අඛණ්ඩව ගලායෑම සහතික කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා වැදගත් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි මාසයේදී කියා සිටියේ වසරේ මුල් භාගය තුළ ණය ප්‍රතිසංස්කරණය අවසන් කිරීමට බලධාරීන් අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව දැනටමත් චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමියන් සමග මෙන්ම එහි දේශීය ණය හිමියන් සමග ගනුදෙනු කර ඇත.

 

42.31%
17.27%
32.76%