November 22, 2023

ශ්‍රී ලංකා පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයකු මියයෑම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය කනස්සල්ල පළකර තිබේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට් ට්විටර්(X) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිය භාරකාරත්වයේ සිටියදී පුද්ගලයකුට අයහපත් ලෙස සැළකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අපක්ෂපාතීව විමර්ශනය කළ යුතු බව ද ඇය පවසයි.

පසුගියදා යාපනය වඩ්ඩුකෝට්ටෙයි පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම තරුණයාගේ සිරුරේ තුවාල පැවැති බවත්, වකුගඩු ක්‍රියාකාරිත්වය අවහිරවී මරණය සිදුව ඇති බවත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

නිවෙසකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තවත් සැකකරුවකු මෙම මස මුලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් නොවැම්බර් 11 වැනිදා නාගකර්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

වින්දිතයා බන්ධනාගාරයේ සිටියදී හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර ලබාදී නැවත බන්ධනාගාරයට රැගෙන ආ නමුත් යළි අසනීප වී නොවැම්බර් 19 වැනිදා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.

42.31%
17.27%
32.76%