September 11, 2024

මෙරට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, අපයෝජනය කිරීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ සාක්ෂි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ස්විට්සර්ලන්තය ඉල්ලා තිබේ.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී අදහස් දක්වමින් වගකිවයුත්තන්ට නඩු පවරන ලෙස ස්විට්සර්ලන්තය ඉල්ලා සිටියේය.

ඔන්ලයින් ආරක්ෂණ පනත සහ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරන නීති වැනි මර්දනකාරී නීති සම්මත කිරීම ගැන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ස්විට්සර්ලන්ත තානාපති ජර්ග් ලෝබර් එහිදී අනතුරු ඇඟවීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු කණස්සල්ලෙන් යුතුව සඳහන් කළේය.

“ප්‍රකාශනයේ සහ ආශ්‍රය කිරීමේ නිදහසේ අයිතිය මර්දනය කිරීම සඳහා මෙම නීති අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව අපි සැළකිලිමත් වන අතර අන්තර්ජාතික බැඳීම්වලට අනුකූලව ජාතික නීති සකස් කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ” යනුවෙන් ලෝබර් ප්‍රකාශ කළේය.