53.84%
19.85%
20.11%
September 5, 2023

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අන්තර්ජාල සැසියක් අතරතුර අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට එරෙහිව පවරා ඇති අපහාස නඩුව ඊයේ (04) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවනු ලැබීය.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් මෙම නඩුව පවරා තිබුණේ රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ඉල්ලමිනි.

2021 ඔක්තෝම්බර් මස 23 වන දින, 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අන්තර්ජාල සංවාද මණ්ඩපයකදී කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම නඩුව පවරා ඇත.

2019 පාස්කු ප්‍රහාරයට අදාළව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් තමන් වෙත කරන ලද ද්වේශසහගත ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ2021 ඔක්තෝබර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළේය.

එකල බ්‍රිගේඩියර්වරයකු වූ සුරේෂ් සලේ විසින් සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමට සක්‍රීයව සම්බන්ධ වූ බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර ඇති බව පැමිණිල්ලේ සඳහන් විය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිස තමාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, තමාට අපකීර්තියක් ගෙන ඒම සඳහා කරන චෝදනා අසත්‍ය බව ද අවධාරණය කළේය.

මෙම චෝදනාවල අරමුණ සාමාන්‍ය ජනතාව නොමග යැවීම පමණක් නොව හිතාමතාම තම කීර්ති නාමය කෙලෙසීම මෙන්ම, තම ජීවිතයට සහ පවුලේ අයගේ ජීවිතවලට හානි කිරීම බව පැමිණිල්ලේ සඳහන් විය.

සුරේෂ් සලේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමඟ කිසිදු අවස්ථාවක සන්නිවේදනය කර නොමැති බවද රහස් පොලිසිය හමුවේ ගොනු කළ පැමිණිල්ලේ සඳහන් විය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට මෙන්ම අදාළ අන්තර්ජාල සංවාද මණ්ඩපයට පැමිණි අනෙක් පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සුරේෂ් සලේ සිය පැමිණිල්ලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

53.84%
19.85%
20.11%