August 26, 2024

70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (25) පස්වරුවේ බටුවත්තේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 89 කි.

1935 වසරේ නොවැම්බර් 10 වැනිදාවක සුගතපාල සෙනරත් යාපාගේ උපත සිදුවෙන්නේ, අකුරැස්ස මලුදූව එරළුව ගම්මානයේදී ය.

ඔහු සිය සිනමා චාරිකාව ආරම්භ කරන්නේ හන්තානේ කතාව සිනමා පටයෙනි.

මෙරට බිහිවූ කඩවසම්ම රංග පෞරුෂය වූ විජය කුමාරතුංගයන්, හන්තානේ කතාව සිනමා පටය හරහා රිදී තිරයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ද ඔහුට ය.

ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර වැනි චරිත, හන්තානේ කතාව හරහා ඔහු ජනගත කළ දැවැන්තයන් වේ.

ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ පෙම්බර මධූ සහ ඉන්දුට මල්මිටක්, සුගතපාල සෙනරත් යාපා සිනමාවට දායාද කළ සෙසු සිනමා වත්කම් ය.