August 22, 2024

තම අවසරයකින් තොරව හෝ නියමිත ගාස්තු ගෙවීමකින් තොරව මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කොළඹ නගරයේ මාර්ග, වීදි හෝ පොදු ස්ථාන අලංකාර කරන ඕනෑම අපේක්ෂකයකුට හෝ දේශපාලන පක්ෂයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට කොළඹ මහ නගර සභාව අනතුරු අඟවා තිබේ.

ජූලි 26 වැනිදා නවවැනි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම ප්‍රචාරක ද්‍රව්‍යවලින් අගනුවර අලංකාර කිරීම සම්බන්ධ කටයුතු මැතිවරණ නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස පිළිගත් දේශපාලන පක්ෂ 80කට වැඩි සංඛ්‍යාවකට කොළඹ මහ නගර සභාව ලිඛිතව දැනුම් දී ඇත.

නගරය අලංකාර කිරීමට කැමති ඕනෑම අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් ඔවුන්ගෙන් අවශ්‍ය අවසරය ලබා ගත යුතු බවත් එසේ නොමැතිනම් එවැනි ප්‍රචාරක ද්‍රව්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේ මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි උපදෙස් ලබා දී ඇති බවයි.

අපේක්ෂකයකු හෝ පාර්ශ්වයක් පොදු භූමියක්, මාර්ගයක් හෝ වීථියක් වැනි පොදු ස්ථානයක් අලංකාර කිරීමට අවසර ඉල්ලා සිටින විට, කිසිදු දේපළ හානියක් හෝ අනතුරු සිදු නොවන පරිදි නගර සභාව විසින්ම සැරසිලි කටයුතු සිදු කරන බව ඇය ප්‍රකාශ කරයි.

“සමහර දේශපාලන පක්‍ෂ තමන්ගේ සැරසිලි තමන් විසින්ම කරගන්න ඉල්ලා සිටියත්, බොහෝ විට අපි ඔවුන්ව දිරිමත් කරන්නේ පිටස්තර පුද්ගලයන් විසින් නගර අලංකරණ කටයුතු සඳහා යොදා ඇති පැළ, නගර අලංකරණ කටයුතුවලට හානියක් හෝ පොදු දේපළවලට, මාර්ගවලට, ගොඩනැඟිලිවලට හානි කළ හැකි නිසා එම වැඩ අපට භාර දෙන ලෙසයි.” යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

මහ නගර සභාව සහ පොලිසිය යන දෙඅංශයෙන්ම අවසර ලබාගෙන මහජන රැස්වීම් පැවැත්වෙන ස්ථානවල බිම් විදීම්, කොඩි කණු සවි කිරීම සහ කොඩි එසවීම, කටවුට් සහ වෙනත් විශාල බැනර් හෝ ඕනෑම ප්‍රචාරක ද්‍රව්‍යයක් සවි කිරීම කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබයි.

නාගරික කොමසාරිස්වරිය පවසන්නේ මෙම සේවාවන් සඳහා ඔවුන් විසින් ගෙවිය යුතු ගාස්තුවක් පවතින බවයි.

රටපුරා ඇති පළාත් පාලන ආයතන 330කට අධික සංඛ්‍යාවක් සමඟ සසඳන විට කොළඹ නගරය ඉතා අලංකාර ලෙස නඩත්තු වන බවත් අනෙකුත් බොහෝ ප්‍රදේශ පෝස්ටර් සහ නීතිවිරෝධී ඡන්ද සැරසිලිවලින් වැසී ඇති බවත් ඇය සඳහන් කරයි.

මෙවැනි වැඩකටයුතු සඳහා කොළඹ නගර සභාව විසින් නියෝජ්‍ය නාගරික සේවා ඉංජිනේරුවරයා යටතේ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවට අනුව දේශපාලන පක්ෂවලට සැරසිලි කළ හැක්කේ ඔවුන්ට අවසර දී ඇති පක්ෂ කාර්යාලවල සහ රැස්වීම් පැවැත්වෙන ස්ථානවල පමණි.