January 26, 2025

මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකයත් විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයත් දරුවන්මය. මුළු මහත් සමාජයේම අනාගතය එම සමාජයේ දරුවන්ගේ යහපැවැත්ම මත රඳා පවතින්නකි. එනිසා අනාගත ලෝකයේ මැවුම් කරුවන් දරුවන්මය. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු සියලු මනුෂ්‍යයන් ළමයි වෙති . ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් ලක්ෂ හැට දෙකක් පමණ දරුවන්ය. දරුවකුට වැඩිහිටියෙකුගේ ප්‍රමාණයෙන් ශාරීරිකව වෙහෙසිය නොහැකිය. එසේම වගකීම් දරන පුද්ගල මට්ටමකට දරුවකුට ළමා කාලයේදී ළඟාවිය නොහැකිය. දරුවකු සතු ලෝකය සුන්දරය . එම සුන්දරත්වය රසවිඳීමට අවශ්‍ය සහයෝගය වැඩිහිටි ලෝකයෙන් ලැබිය යුතුමය. මෙතරම් සියුම් සිනිදු හා සොඳුරු වුවද ළමා ලෝකය ලෝකයේ දස දිසාවෙන්ම එක හා සමාන නොවේ.


ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් විවිධ හේතූන් මත දරුවෝ මාපිය සෙවණ අහිමිවීම මත පොළොවේ තනි වෙති.
විශේෂයෙන්ම ලංකාවේ දෙමාපිය පවුල් පසුබිම්, ආර්ථික පසුබිම්, මත දරුවන්ගේ ලෝකය ද සුභසාධනයද වෙනස් වන බව සමාජ නිරීක්ෂණයේදී පැහැදිලි වන කරුණකි.
මේ අනුව කුමන හෝ පසුබිමක් තුළ පවුලක් තුළ වෙසෙන දරුවන් හා දෙමාපිය රැකවරණය නොමැති දරුවන් ලාංකික සමාජයේ වෙසෙති. ඒ අතර සමාජයේ විවිධ හේතු මත මව පියා අහිමි දරුවන් මෙන්ම නිසි භාරකාරත්වයක් නොමැති දරුවන්ද සිටිති.
එසේම දැඩි ආර්ථික දරිද්‍රතා හා සමාජීය කරුණු හේතුවෙන් දෙමාපියන් සිටියද නිසි රැකවරණයක් හා සුභසිද්ධියක් නොමැති දරුවන් ලංකාවේ සිටිති. මේ අතරින් වීදි දරුවන් යනු වයස අවුරුදු 18 ට අඩු තම දෛනික අවශ්‍යතා හා තම ජීවිතය පවත්වගෙන යාමට හිසට සෙවණක් නොමැති ඒ සඳහා මාවත නිවහන කරගත් ළමුන්ය. මෙසේ වීදියේ ජීවත්වීම නිසා මුහුණ දීමට සිදුවන නොයෙකුත් දුෂ්කරතා නිසා දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනයට ආරක්ෂාවට හා යහපැවැත්මට දරුණු ලෙස බලපායි.

දරුවන්ගේ ශාරීරික මානසික ආධ්‍යායාත්මික සදාචාරාත්මක හා සමාජ සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ජීවන තත්ත්වයකින් ජීවත්වීමේ අයිතියක් සෑම දරුවෙක්ම සතු බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙහි සඳහන්ව ඇත.
මෙසේ ලංකාවේ ජීවත් වන වීදි දරුවන් තිස්දාහකට පමණ ආසන්න ප්‍රමාණයක් සිටින බව සමාජ සමීක්ෂකයෝ ප්‍රකාශ කරති. මෙම දරුවන්ගෙන් තුනෙන් එකකට පමණ මව හෝ පියා අහිමි අතර තවත් පිරිසකට වැඩිහිටි රැකවරණයක් නොමැතිව වීදි වල ජීවත්වන අය වෙති.
වීදි වල ජීවත් වන තවත් දරුවන් පිරිසක් විවිධ දුෂ්චරිත සඳහා යොමු වූ දෙමව්පියන් සමඟ ඔවුන් අසලම ජීවත්වන දරුවන් බවද හඳුනාගෙන තිබේ.
සමහර විට මෙවැනි දරුවන්ගේ මව්වරු ගණිකා වෘත්තියේ යෙදෙන අය වෙති. ඇතැම් මව්වරු එසේ නොමැති නම් පියවරු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සඳහා ඇබ්බැහි වූ වීදියේම ජීවත්වන අය වෙති. වීථියේ දිවි පෙවතක් ගෙවන දරුවන්ගෙන් ගැහැණු දරුවන් බහුතරයක් කුඩා කාලයේදීම ළමා ගණිකා වෘත්තියට යොදා ගන්නා අතර ගැහැණු දරුවන්ගෙන් සමහර දරුවන් ළමා මව්වරුන් වෙති. මෙලෙස මවුපියන්ගේ අවධානයෙන් මිදුණු දරුවෝ සිඟමනේ යෑම , සොරකම් කිරීම, ඔත්තු සෙවීම ,විවිධ ජාවාරම්වල අයථා වෙළහෙළඳාම්වල පණිවිඩකරුවන් හෝ ප්‍රවාහනකරුවන් ලෙසද යොදා ගැනෙති.


අනෙක් අතට මේ වීදි දරුවන් අතර ඉතාම සුළු පිරිසක් ජීවිතයේ බොහෝ දේ පිළිබඳව බලාපොරොත්තු සේයාවක්වත් නොමැතිව ඉතා දුකසේ වීථියේ පහන් එළිය යට හිඳ අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමින් දෙමාපිය රැකවරණයක් ලබන පිරිසක් ද සුළු වශයෙන් සිටිති.

ඉහත සඳහන් කළ විවිධ වර්ග වල දරුවන් අතරින් බහුතරයක් වීදි දරුවන් මහා මාර්ගවල ආලෝක සංඥා පුවරු අසල, කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර වල, ‍ප්‍රකට ව්‍යාපාරික ස්ථාන අසල සිඟමන් යදින අයුරු දැකිය හැකිය.

මෙලෙස සිඟමන් යදින බොහෝ පිරිසක් යාචකයින් නොවන අතර මුදල් ලැබීමේ මාර්ගයක් උදෙසා වෙනත් කවර හෝ පුද්ගලයෙක් දරුවන්ව භාවිතා කිරීමක් සිදුවේ.
මෙම යාචක ජාවාරම සිදු කරනු ලබන්නේ බලහත්කාරයෙන් කුඩා දරුවන්ට විවිධ මත්වන ද්‍රව්‍ය පවා ලබාදීමෙන් බව අනාවරණය වී ඇත. වීථියේ ජීවත්වන දරුවන්ට පවුල තුළ ජීවත්වන දරුවන්ට මෙන් නිසි ආරක්‍ෂාවක් රැකවරණයක් නොලැබෙන බවට සාක්ෂි තිබේ. එනම් ඔවුන් විවිධ අපචාර අපයෝජනවලට හසුවේ. මීට අමතරව ප්‍රධාන වශයෙන් දරුවන්ට ඇති මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපන අයිතිවාසිකම භුක්ති විඳීමේ හැකියාව ද මෙම සමාජ වටපිටාව මත අහිමිවේ. දරුවෙකුට යහපත් ළමා කාලයක් ලැබීමට ඇති අයිතියත්, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියත් ඔවුන්ට උපතින්ම හිමිවන්නකි. සාක්ෂරතාවයෙන් ඉහළ රටක් වන ශ්‍රී ලංකාව තුළ තමන්ට තමන්ගේ ළමා කාලයත් අහිමි වූ දුවා දරුවන් සිටීම අභාග්‍ය සම්පන්නය.

ලෝක ළමා ප්‍රඥප්තියට අත්සන් තබා ඊට එකතු වෙමින් වයස අවුරුදු දහ අටට අඩු දරුවන්ගේ ආරක්ෂණය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් රජයේ ආයතන හා නිලධාරීන් (දරුවන් සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමින් පවා) සේවයේ යෙදෙන ලංකාවේ ළමා විය අහිමි කරගත් වීදි දරුවන් සිටීම , මේ සියල්ලටම වඩා අභාග්‍යසම්පන්නය.

එසේම ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම හා දරුවන්ට අවශ්‍ය යහපත් පරිසරයක් උදාකර දීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ විවිධ නීති ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති සකසා තිබේ.
මේ අනුව 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධිත පනතේ (2) වගන්තියට අනුව ළමයා යනු වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙක් අදහස් වේ . යනුවෙන් සඳහන්ව තිබේ.
දරුවන්ගේ සෞඛ්‍යයට හානි සිදුවන ආකාරයට හෝ අයහපතක් සිදුවන ආකාරයට තබා ගැනීමක් හෝ වෙනත් ඕනෑම කර්තව්‍යක යෙදවීම ඔවුන් කෲරත්වයට පත් කරන වරදක් බව මෙහි තවදුරටත් සඳහන් වෙයි.
එසේම 1998 මෙම සංශෝධන නීතියේ වෙනස් වීමත් සමඟ

දරුවන් කුමන හෝ ආකාරයකට සිඟා කෑමට ලක් කිරීම එසේ දන් පින් ලබා ගැනීමට ඔවුන් සූදානම් කිරීම ගීත ගායනයට සැලසීම නර්තනය යෙදවීම හෝ වෙනත් ඕනෑම ආකාරයේ ක්‍රියාවල යෙදවීම වැරැද්දක් බව සඳහන් කර ඇත.
තවදුරටත් ඉහත සංශෝධනයේ 288 (1) වගන්තියට අනුව මෙසේ දරුවන් යොදවන පුද්ගලයෙක්ට අධිකරණයේදී වසර පහ දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.
දරුවා වින්දිතයකු වන අතර ඔවුන් සිගමනට යොදවන භාරකරු වැඩිහිටි දෙමව්පියෝ කවර හෝ අයෙකු වරදකරුවන් ලෙස නීතිය ක්‍රියාත්මක කළ හැකිය . එසේ ක්‍රියාත්මක කරන පැරණිතම නීතියක් ලෙස 1841 අයාල ආඥා පනත ද අදටත් ක්‍රියාත්මක වන නීති ප්‍රතිපාදනයකි.
පසු කාලිනව තව දුරටත් දණ්ඩනීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන සලසා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 75 සහ 76 වගන්ති අනුව වයස අවු:8ට අඩු දරුවකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් හෝ ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවු: 8 ට වැඩි නමුත් 12 ට අඩු දරුවකු විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් නීතිය අනුව අපරාධයක් ලෙස නොසැලකේ. එමෙන්ම වයස අවු:12ට අඩු දරුවකු දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු විසින් අතහැර දැමිම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තවත් පනත් වන අතර ,1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනතද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනතද මේ අතර වේ.
මේ පනත අනුව යම් පුද්ගලයකු විසින් අවුරුදු 14 ට අඩු දරුවකු සේවයෙහි යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේ වුවද වර්තමාන සමාජයේ බරපතල සමාජ උවදුරක්ව ඇති ළමා අපචාරයන් වැලැක්වීම සදහා පැවති නීතිමය රාමුව කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර මේ නිසා ළමුන් සම්බන්ධව සම්මත කරන ලද ඉතා වැදගත් මෑත කාලීන පණත් 05ක් පිළිබදව අවධානය යොමු කර ඇත.
1998 අංක 29 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත සංස්කරණය
මෙහි විශේෂත්වය වනුයේ ළමා අපචාර පිළිබද වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඩුවම පමණක් නොව අවම දඩුවමද නියම කිරීමය. මෙම පනත මගින් අපරාධ හා වරදවල් ලෙස පහත නිර්වචනයන් ලබාදි ඇත .
*ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම.

*ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.

*ලිංගික අපචාරයන් සදහා ළමුන් සැපයීම.

*අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම.

*එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සදහා අනුබල දීම.

මෙවැනි නීති ලාංකික දරුවන්ගේ පාර්ශ්වයට යහපතක් වන අයුරින් ප්‍රතිපාදනය වී ඇති බව පෙනෙ.
මෙහිද දරුවන්ගේ සුබ සාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන තිබේ. එසේම ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතේ වීථි දරුවන් පිළිබඳව ඇති නීති ප්‍රතිපාදන අනුව වීදි දරුවකු සුදුසු පුද්ගල භාරකාරත්වයට පැමිණ වීම, පරිවාස භාරයට හා නිලධාරී අධීක්ෂණයට පත් කිරීම, දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පවතින සහතික කළ පාසල් වලට වීථි දරුවන් යොමු කිරීම සිදු කරනු ලබයි .
ඒ සඳහා පරිවාස දෙපාර්තමේන්තුව,, ළමා හා කාන්තා කාර්යාංශය හෝ වගකීම් පැවරුණු වෙනත් ආයතනයක විමර්ශනයකින් පසු අධිකරණයට කරුණු වාර්තා කර ඉන් අනතුරුව දරුවන් සුදුසු භාරයට හෝ රැකවරණයට පත් කිරීම සිදුකරනු ලබයි. බොහෝ දුරට අධිකරණ නියෝග පරිදි දරුවන් පරිවාස භාවයට පත් කිරීම හෝ වෙනත් සුදුසු භාරකාරත්වයකට පත් කිරීමට එය හේතුවක් වන්නේ දරුවා වරදකරුවකු නොව දරුවා වින්දිතයකු හෙවත් පීඩාවට පත්වන්නෙකු වන බැවින් දරුවාගේ රැකවරණය සුභසාධනය රාජ්‍යත්වයේ වගකීමක් ලෙස ගනිමිනි . මෙසේ ශ්‍රී ලංකාවේ මෙම නීති සම්පාදනයන් හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා ස්වේච්ඡා ආයතනයන්ද සමූහයක් පිහිටුවා ඇත.
ළමා සුරක්ෂිතභාවය ආරක්ෂා කරගනිමින් මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ රජය විසින් ආයතන කීපයක් පිහිටුවා ඇත.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, පළාත් මට්ටමෙන් හා මධ්‍යම ආණ්ඩු මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර ළමාරක්ෂක අධිකාරිය, ළමයින් වෙනුවෙන් ඔවුන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා නීති ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති සැකසීම සම්බන්ධයෙන්ං ඉදිරියෙන්ම සිටි.
ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයද ළමුන්ගේ අයිතිවාසිකම්වල සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටින අංශයකි. ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයත්ද පිහිටා ඇත.
මීට අමතරව ළමයින්ගේ සුබ සාධනය හා ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන් දෙදෙනෙකු බැගින් ග්‍රාමීය ප්‍රදේශවල හා නාගරික ප්‍රදේශවල දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇත
එහෙත් අභාග්‍ය සම්පන්න කරුණ නම් ලංකාවේ කොතෙක් නීති පැන වුවද, ළමයින්ගේ ආරක්ෂාව රැකවරණය හා සුභසාධනය සම්බන්ධයෙන් කොතෙක් රාජ්‍ය ආයතන හා නිලධාරීන් සිටියද, තවදුරටත් ලංකාවේ යම්කිසි සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් වීදි දරුවන් ලෙස අසරණ වී සිටි. එසේම දරුවන් විවිධ නීති විරෝධී ව්‍යාපාර යොදමින් ලාභ ප්‍රයෝජනය ලබන යම්කිසි පිරිසක් සමාජයේ සිටින බව ළමයින් පිළිබඳ විමර්ශනයන්ගෙන් සනාථ වී තිබේ.
මේ අතර දරුවන් යාචක වෘත්තියේ යෙදවීම ප්‍රධාන වේ. මේ සදහා බලපාන හේතු සාධක අතර ආර්ථික දරිද්‍රතාවය ප්‍රධාන හේතුව වේ . එසේ ඔවුන් මෙම වෘත්තියේ යොදවන්නෙ වැඩිහිටියෙක් හෝ භාරකරුවෙකු හෝ දෙමව්පියන් ම බව හඳුනාගෙන තිබේ. මේ සඳහා දරුවන් වෙන්වෙන්ව හුදෙකලාව යාචක වෘත්තියේ යෙදෙන අවස්ථාද ඇත. මේ පසුපස ද යම්කිසි වැඩිහිටි භාරකාර දෙමව්පිය ආකාර කිහිප දෙනෙකු ගේ පෙළපෙවීමක් අනුබලදීමක් දැකිය හැකිය. කෙසේ වෙතත් වීදියේ පීඩාවට හා අපහසු තාවට ලක්වන දරුවන් යාචක වෘත්තියට සම්බන්ධ කර ගැනීම ගැටලුවක් බවට පත්වී ඇත.
වීදියේ දරුවන්ට එරෙහිව සිදුවන අපචාර අපයෝජන හා එම දරුවන් අනාරක්ෂිත වීම අධ්‍යාපනය නොලැබීම වැනි කාරණා සඳහා දෙමව්පිය භාරකරුවන්ගේ ආර්ථිකය මූලිකම සාධකය වන අතර සමාජ දේශපාලන ආගමික සදාචාරාත්මක හා අධ්‍යාපනය යන සාධක වීදි දරුවන් සම්බන්ධව අසමතුලිත වෙයි. මේ නිසා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සමාජ විද්‍යාඥයින්ගේ අදහස වෙයි.
එනම් දරුවන්ගේ ශාරීරික හා මානසික නොමේරූභාවය හේතුවෙන් ළමා උප්පත්තියට පෙර හා පසුව උචිත නෛතික ආරක්ෂාව ඇතුළුව විශේෂ ආරක්ෂාව සහ රැකවරණයක් ඔවුන්ට අවශ්‍ය බව ජාත්‍යන්තරය වශයෙන් පිළිගනු ලබයි.
පෙර සදහන් කළ පරිදිම වීදි දරුවන් වෙනුවෙන් නෛතික රාමු සකස් කර තිබුණද , නීතියේ යම්කිසි ප්‍රමාණාත්මක දුර්වලතාවයක් ඇති බව පාලන අධිකාරිය මේ වන විට පිළිගෙන ඇත. මෙවැනි දරුවන් සම්බන්ධව අදාළ ආරක්ෂණය වෙනුවෙන් නීති සම්පාදනය සියලුම තත්ත්වයන් තුළ දරුවන්ගේ ආරක්ෂාව සැලැස්වීම, ඔවුන්ට එරෙහිව සිදුවන අපයෝජනය වලක්වා ගැනීම සම්බන්ධයෙන් නීති සම්පාදනය හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට වගකීම් පැවරී ඇත්තේ ළමා ආරක්ෂක අධිකාරියටයි.
මේ සම්බන්ධව 2024 ගම්පහ පොලිසියේ කාන්තා කාර්යාංශය හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් දරුවන් 7-10 ක් අතර ප්‍රමාණයන් හා වැඩිහිටියන් කිහිප දෙනෙකු රැකවරණය සඳහා යොමු කර තිබූ නමුත් වීදි දරුවන් 20000 – 30000ක් අතර ප්‍රමාණයක් සිටින රටක එම මැදිහත්වීම ප්‍රමාණවත් නොවේ.
එම නිසා ඔවුන්ගේ සමාජ ආර්ථික අධ්‍යාපන සදාචාරාත්මක වර්ධනයන්ට අවශ්‍ය සහාය සම්බන්ධව නව නීති හා ඒවායේ ක්‍රියාත්මක භාවයට අවශ්‍ය ප්‍රායෝගික ප්‍රතිපාදන තත්ත්වයන් පැහැදිලි කරගත යුතුවේ. වර්තමාන තත්ත්වය තුළ එනම් දැනට පවත්නා නීති වපසරිය තුළ දරුවන්ට ළමා නිවාස, ළමා රැකවරණ මධ්‍යස්ථාන වලට සහ ඒවාට යොමු කිරීම වැනි කටයුතු සිදුකිරීම මීට වඩා විධිමත් විය යුතුය.
ඒ සඳහා රජයේ මධ්‍යස්ථානවල හා ස්වේච්ඡා සංවිධාන මගින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන භාවිතා කළ හැකි මට්ටමේ අවම ප්‍රමිතීන් හා ප්‍රතිසංවිධානය කළ යුතුය. මක්නිසාද යත් අසරණභාවයෙන් යුක්තව ගෙන එන දරුවෙකුට එම මධ්‍යස්ථානවලදී ඉතා හිතකර ආරක්ෂාකාරී කාරුණික ආදරණීය පසුබිමක් නැති ළමා නිවාස හා සංවර්ධන රැකවරණ මධ්‍යස්ථාන ලංකාවේ තිබෙන බැවිනි. ළමා රැකවරණ මධ්‍යස්ථාන පිළිබඳව නව ජාතික ප්‍රතිපත්තියක් මගින් දරුවන්ගේ රැකවරණය සුභසාධනය සෞඛ්‍ය අධ්‍යාපනය ආදී කරුණු පිළිබඳව අවධානයට ලක් කළ යුතුය.
ස්වේච්ඡා ළමා නිවාස පවත්වාගෙන යා යුතු අවම ප්‍රමිතීන් පිළිබඳ උපදේශන මාලාවක් මේවන විට සකසා ඇතනම් එම ප්‍රමිතින් ක්‍රියාත්මක කළ යුතුය.
අනාරක්ෂිත දරුවන් යොමු කිරීම සඳහා පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානවල නිලධාරී කාර්ය මණ්ඩල වල ගුණාත්මක භාවය පිළිබඳ නව ප්‍රමිතින් සකස් කළ යුතුය.මේ සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් ද සිදුකළ යුතුය.
එමෙන්ම යාචකයන් ලෙස කටයුතු කරන ළමුන් පොලිස් භාරයට ගැනීමේ හැකියාව පැවතුණ ද ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා නීතිමය බාධාවන් ද පවතී. වීදි දරුවන් නිසි රැකවරණයට පත් කිරීමට ඇති මධ්‍යස්ථාන වල ප්‍රමිතිය , සුදුසු භාරකරුවන් නොසිටීම හා මෙවැනි දරුවන් සොයා මෙහෙයවීම් සිදුකිරීම් ප්‍රමාණවත් නොවන බව නිසා තවමත් වීදි දරුවන් සඳහා සාධාරණය ඉටු වී නොමැත.

වීදි දරුවන්ට අහිමි වූ මාපියන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමය ලංකාවේ සමහර ළමා නිවාස වල ක්‍රියාත්මක වේ. මෙම ක්‍රමය දෙමාපියන් අහිමි වීදි දරුවන් සඳහා වඩා යෝග්‍ය වනු ඇත. මේ කැපකරු මාපිය ක්‍රමය අසරණ දරුවන්ගේ යහපැවැත්ම සඳහා යොදාගැනිම සුදුසු ය.
” දරුවන් යාචක වෘත්තියේ යොදවා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීම තුළ පමණක් විසඳුම් ලබා ගැනීම ප්‍රායෝගික නොවන්නේය. දරිදෘතාවය හා බැඳුණු මෙම සමාජය ගැටලු විසඳීම සඳහා දීර්ඝකාලීන ප්‍රතිපත්ති වල අවශ්‍යතාව බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය. වීදි දරුවන් එම තත්ත්වයෙන් මුදා ගැනීම රජයක වගකීමක් වන්නේය. එනම් ඔවුන් වීදියට විසිවී ඇත්තේ ඔවුන්ගේ වරදින් නොවන බැවිනි.
2019 වර්ෂය වන විට 15000 ක් පමණ වූ වීදි දරුවන් ප්‍රමාණය පාස්කු ප්‍රහාරය , කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන කාරණා නිසා විසි දාහත් තිස් දාහත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කර ඇත.
“අපි කරපු අධ්‍යයන තුළ පෙනී යනවා 2019 වනවිට 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන් කියලා. 2019 පසුව පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන කාරණා නිසා මේ පිරිස 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන්. මෙහිදී විවිධ කාණ්ඩයේ දරුවන් ඉන්නවා. මොවුන් බොහෝවිට පූජනීය ස්ථානවල රැදෙනවා. ඒකට හේතුව පූජනීය ස්ථානවලට එන බැතිමතුන් ළමයෙක් දැක්කහම, ළමයෙක් ගේන දෙයක් දැක්කහම මිල දී ගන්න බලනවා. ඔවුන්ට යම් අනුග්‍රහයක් දක්වන්න කැමතියි. ඒ නිසා මේක ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ බොහෝ ප්‍රදේශවල…” යැයි මහාචාර්යවරයා අදහස් දක්වා ඇත.

දරුවන් සිඟමනේ යෙදවීම අපරාධමය වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමේ වගකීම රාජ්‍ය ආරක්ෂණ , රාජ්‍ය ළමා ආරක්ෂණ අංශ වලට පවති.

දරුවන් සිඟමනේ යෙදවීම , දරුවන් මෙහෙකාර සේවයට යෙදවීම හා දරුවන් වීදියට අතහැරීම යන කාරණා දෙකම අපේ රටේ නීතියට අනුව අපරාධ වැරදි ලෙස සැලකෙන බැවින් එවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම ත් නෛතිකමය යොමු කිරීම් සඳහා බලතලත් පොලීසිය හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ යුතුය . ජාතික ළමා රක්ෂක අධිකාරියටත් මෙවැනි තත්ත්වයන් පිළිබඳව වගකීම් හා බලතල පැවරී තිබේ. දරුවන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂණය හා අයිතිවාසිකම් වෙනුවෙන් අදාල නිලධාරීන්ගේ සේවය සලකා බැලීමේදී රජයක් සතු වග වීම ප්‍රමාණවත් නැති බව පැහැදිලි වේ. ඒ අනුව වීදි දරුවන් ගේ ආරක්ෂාව සුභසිද්ධිය සහ සුදුසු භාරකාරත්වයට ඔවුන් යොමු කිරීම පිළිබඳව ඉහත සඳහන් කළ අදාළ රාජ්‍ය ආයතන තම කාර්යභාරයන් ඉටු කළ යුතු කාලය එළැඹ තිබේ .

නදීප්‍රියා ඇරැව්ගොඩ

42.31%
17.27%
32.76%