August 23, 2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මූලික නිදහසට නව තර්ජන පවතින බවත්, එම තර්ජන එල්ල කෙරෙන නව හෝ යෝජිත ප්‍රතිගාමී නීති රැසක් පවතින බවත් ය.

ප්‍රජාතන්ත්‍රවාදී සංවරණ සහ තුලන ඛාදනය වීම, සිවිල් සමාජයට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන සහ බියගැන්වීම් සහ අතීතයේ සිදු වූ බරපතල මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීම මෙම වාර්තාවේ සටහන් වේ.

2023 වසරේ සිට රජය විසින් හඳුන්වාදෙන ලද නීති සහ පනත් කිහිපයක් ඔස්සේ, ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබාදී ඇති අතර, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ, මතය දැක්වීමේ සහ ආශ්‍රය කිරීමේ නිදහසට පෙර පැවති සීමාවන් තවදුරටත් පුළුල් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී Volker Türk එම වාර්තාවෙන් හෙළිකර ඇත.

එසේ නොකරන බවට රජය පොරොන්දු වුවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අඛණ්ඩව සිදුවන් බවද වාර්තාව සඳහන් කරයි.

2022 ආර්ථික අර්බුදයේදී සහ ඉන් පසුව ඇති වූ කප්පාදු පියවරයන් හේතුවෙන්, දුප්පතුන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට සිදුවෙමින් පවතින බලපෑම් පිළිබඳවද වාර්තාව විස්තර කරයි.

ඊට අමතරව, 2009 දී අවසන් වූ සිවිල් යුද්ධයේදී සහ ඉන් පසුව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබානොදීම සහ වගවීමේ ඌණතාව දිගටම පවතින බව වාර්තාව වැඩිදුරටත් පවසයි.