August 29, 2024

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසානයේ වත්මන් අන්තර්වාර පුහුණුකරු සනත් ජයසූරියගේ තාවකාලික කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු මෙතෙක් තෝරාගෙන නොමැති බව වාර්තා වේ.

පසුගිය සතියේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක පරාජයක් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ වන විට සත්කාරක එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී අද (29දා) දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යෑමට පෙර පුරප්පාඩු වූ පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබිණි.

ඒ අ නුව අයදුම්පත් කිහිපයක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී ඇති බවත්, ඔවුන් එම අයදුම්පත් මේ වනවිට සකස් කරමින් සිටින බවත් තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදේශීය පුහුණුකරුවන් හෝ මෙරට ඉහළ පෙළේ හිටපු ක්‍රීඩකයන්ගෙන් මෙම තනතුර සඳහා අයදුම්පත් ලැබී තිබේද යන්න සඳහන් නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිටි අවසන් දිගුකාලීන දේශීය ප්‍රධාන පුහුණුකරු වූයේ හිටපු පිතිකරු චන්දික හතුරුසිංහයි.

අවිධිමත් ලෙස ඉවත් කිරීමට පෙර ඔහු 2017-19 දක්වා කණ්ඩායම කළමනාකරණය කළේය.

වත්මන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක ද 2022 දී ක්‍රිස් සිල්වර්වුඩ් බඳවා ගැනීමට පෙර කෙටි කාලයකට කණ්ඩායම භාරව කටයුතු කළේය.

හිටපු නායකයකු සහ දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන 54 හැවිරිදි ජයසූරිය දැනට පවතින ස්ථාවර පුහුණුකරු තනතුර සඳහා අයදුම් කිරීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර නැත.

විශ්වාසදායක ලෙස දැනගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඇති ඔහුගේ විශේෂඥතාව ප්‍රයෝජනයට ගැනීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලැබී ඇති අයදුම්පත් අතරින් අවසන් වටය සඳහා කෙටි ලැයිස්තු ගත කිරීමට පෙර ජයසූරියට ස්ථීර ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබා දෙනු ඇති බව වාර්තා වේ.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් අලුත් නොකිරීමට තීරණය කළ ක්‍රිස් සිල්වර්වුඩ් මේ වසරේ ජූනි මස T20 ලෝක කුසලානය අවසානයේ ඉල්ලා අස්වීමෙන් පසු ජයසූරිය වැඩ භාරගත්තේය.

සිල්වර්වුඩ් වෙනුවට පැමිණි ජයසූරිය මෙම මස මුලදී වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව පළමු ද්විපාර්ශ්වික එක්දින තරඟාවලියක් (2-1) ජයග්‍රහණය කරවීමට කණ්ඩායම මෙහෙයවීය.

ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත දේශීය තරගාවලියට පෙර පුහුණුකරු තනතුර පිරවීමට තීරණය කර ඇති අතර එය අසාර්ථක වුවහොත් ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය තෙක් කණ්ඩායම කළමනාකරණය කරන ලෙස ජයසූරියගෙන් ඉල්ලා සිටිය හැකිය.

ලබන මාසයේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම පැමිණීමත් සමඟින් ආරම්භ වන ඉදිරි මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවට ආකෘති තුන යටතේම තරගාවලි කාලසටහනක් තිබේ.

ඉන්පසුව, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එවැනිම ටෙස්ට් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා යෑමට සූදානම් වන අතර ඉන් අනතුරුව, ඔවුන් ලබන වසරේ ජනවාරි/පෙබරවාරි මාසවල තවත් ටෙස්ට් තරඟ දෙකක් සඳහා වත්මන් අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඕස්ට්‍රේලියාවට සත්කාරකත්වය සපයනු ඇත.