January 19, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට ඊයේ (18) නියෝග කර තිබේ.

තම ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා ශානි අබේසේකර ගොනුකර තිබූ පෙත්සමක් සළකා
බැලූ අවස්ථාවේ අභියාචනාධිකරණය එලෙස නියම කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රෝහන්ත අබේසූරිය කරුණු දක්වමින් ජාතික රහස් බුද්ධි තොරතුරුවලට අනුව පෙත්සම්රුට ඇති තර්ජනය අවම බවත්, අභියාචනාධිකරණ නියෝගය පරිදි ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ගණන අටදෙනකු දක්වා වැඩිකර පොලිස් යතුරුපැදියක් ද ලබාදී ඇති බවත්, පවසා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරුණු දක්වමින්, කෙසේනමුත් පෙත්සම්කරුට ලබා දී ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ආරක්ෂාවක් සහ යතුරුපැදියක් පමණක් යැයි පවසා ඇත.

දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කරුට පොලිස් විශේෂ කාර්ය බළකා
ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළ අධිකරණය පෙත්සම පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට ද නියම කර තිබේ.

42.31%
17.27%
32.76%