November 2, 2023

අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සැලසුමක් ඇතිව ඩුබායි සිට මෙරටට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

බස්නාගලගේ දොන් රොෂාන් චින්තක නම සඳහන් විදේශ ගමන් බලපත්‍රය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි සිට මෙරටට පැමිණ සිටියදීය.

එම ගමන් බලපත්‍රය අනුව සැකකරුගේ වයස අවුරුදු 33කි.

සාජා සිට පැමිණි G9 – 502  දරණ එයාර් ඇරබියා ගුවන් යානයෙන් සැකකරු කටුනායක වෙත පැමිණ තිබේ.

පසුගිය ජුලි 14 වැනිදා ගලපිටමඩ පොලිස් වසමේ දුණුමාල ප්‍රදේශයේදී සරත් වේරගොඩ නොහොත් දුනුමාල සරත් නැමැත්තා T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිම ඩුබායි රාජ්‍යයේ සිට සැලසුම් කර ඇති බවත්, ඒ සදහා ගිණි අවි ලබා දී ඇති බවත් මූලික විමර්ශනයේදී අනාරවරණය වී ඇත.

එමෙන්ම සැකකරු මෙරටට පැමිණ ඇත්තේ අද දින (නොවැම්බර් 02) අත්තනගල්ලේ ව්‍යාපාරිකයකු හට වෙඩි තබා ඝාතනය කිරිමට සැලසුම් කරගෙන බවද අනාවරණය වී තිබේ.

සීදුව පාර කොටුගොඩ ප්‍රදේශයේ දී 2008 වසරේදී කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇති අතර තවත් අධිකරණ කිහිපයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි ද විශේෂ කාර්ය බලකාය පැවසීය.

42.31%
17.27%
32.76%