October 14, 2024

ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාර මාලාවෙන් පසුව ඊශ්‍රායලයේ ගුවන් ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා සහාය ලබාදීමට අමෙරිකාව ඉදිරිපත්ව සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකාව සතු නවීනතම මිසයිල නාශක පද්ධතිය වන තාඩ් (THAAD) පද්ධතියක් ඊශ්‍රායලයේ ස්ථාපිත කිරිමට අමෙරිකාව සූදානම් බව පැවසෙයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් මෙම තීරණය ගෙන ඇතැයි පෙන්ටගනය ඊයේ නිවේදනය කර තිබිණි.

තාඩ් මිසයිල නාශක පද්ධතිය සමග එහි මෙහෙයුම් කටයුතු සඳහා අමෙරිකානු හමුදා කණ්ඩායමක් ද ඊශ්‍රායලයට ළඟාවනු ඇත.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියාසිටියේ මෙම පියවර ‘ඊශ්‍රායලය ආරක්ෂා කිරීම’ සඳහා වූවක් බවයි.

පෙන්ටගනයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර් පැවසුවේ මෙම මිසයිල නාශක පද්ධතිය යෙදවීම ඊශ්‍රායලයට සහාය දැක්වීමට සහ ඉරානයේ සහ ඉරාන පිටුබලය ලබන කණ්ඩායම්වල ප්‍රහාරවලින් අමෙරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීමට කාලීනව අමෙරිකාව විසින් සිදුකර ඇති පුළුල් ගැලපුම්වල කොටසක් බවයි.

ඉරානය ඉකුත් ඔක්තෝම්බර් 1 දා ඊශ්‍රායලයට මිසයිල 180 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කිරීමෙන් පසු ඉරානයට එරෙහිව අපේක්ෂිත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

42.31%
17.27%
32.76%