December 26, 2024

දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාම යන සේවකයන් තවත් වසර කිහිපයක් රඳවා තබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන්ගෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ බඳවා ගන්නා නව සේවකයන් අවශ්‍ය නිපුණතා මට්ටමට පුහුණු කිරීමට ආසන්න වශයෙන් වසර තුනක් ගත වන බැවිනි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවාහන) එන්.ජේ.ඉඳිපොලගේ පවසා ඇත්තේ දෙපාර්තමේන්තුව මේ වන විට සේවකයන් 500කට අධික හිඟයකට මුහුණ පා සිටින බවයි.

එයට දුම්රිය එන්ජින් රියදුරන් 150කට ආසන්න සංඛ්‍යාවක්, දුම්රිය ආරක්ෂකයන් 120ක් පමණ, ආසන්න වශයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු 100ක් සහ යාන්ත්‍රිකයන් 100-150කට ආසන්න පිරිසක් ඇතුළත් වේ.

“අපි දැඩි සේවක හිඟයක් සමඟ මෙහෙයුම් පවත්වාගෙන යනවා. 2017 සිට දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් සිදුකර නැහැ,” යනුවෙන් ඉඳිපොලගේ පවසයි.

පුරප්පාඩු වූ තනතුරු සඳහා සේවකයන් බඳවා ගත්ත ද ඔවුන් පුහුණු කිරීමට දෙපාර්තමේන්තුවට වසර තුනකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

“ලබන වසරේ (2025) නව සේවකයන් බඳවා ගත්තත් ඔවුන් පුහුණු කිරීමට අපට වසර තුනක් අවශ්‍ය වනවා. ඒ කියන්නේ ලබන වසරේ බඳවාගැනීම් සිදුකළත් ප්‍රශ්නය විසඳෙන්නේ 2028දීයි. ඊට විසඳුමක් ලෙස විශ්‍රාම යන සේවකයන් තවත් වසර කිහිපයක් රඳවා ගැනීමට අදාළ බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබෙනවා. නමුත් ඒ ගැන තවම තීරණයක් නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සේවක හිඟය, විශේෂයෙන්ම දුම්රිය එන්ජින් රියදුරන් සහ මුරකරුවන්ගේ හිඟය හේතුවෙන් උත්සව සමයේ ප්‍රමාණවත් අමතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි වූ බව පසුගියදා වාර්තා විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය වසරවල යොදවා තිබූ අමතර දුම්රිය 20කට වැඩි සංඛ්‍යාව සමඟ සැසඳීමේදී, මෙවර නත්තල් උත්සවය සඳහා අමතර දුම්රිය දෙකක් පමණක් ක්‍රියාත්මක වී ඇත.

42.31%
17.27%
32.76%