June 13, 2024

ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කළ මුල් සමාගම් හයෙන් හැකියාව ඇති ආයෝජකයන් ශ්‍රී ලංකා රජය කෙටි ලැයිස්තුගත කර ඇති බව එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් පවසයි.

රජය විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් සේවය මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ආයතන තුනක් සමඟ රජය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ඔහු ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ රටෙහි වැඩපිළිවෙළේ කොටසක් බව නට්ල් පැහැදිලි කර තිබේ.

ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයේ එක් පියවරක් වනුයේ ශේෂ පත්‍රය සඳහා උපකාර කිරීම වන අතර එය මාස දෙකකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.

හැකියාව ඇති ආයෝජකයන් සෙවීම යටතේ අප්‍රේල් මාසයේදී උනන්දුව ප්‍රකාශ කිරීම අවසන් වූ බව නට්ල් පවසා තිබේ.

“අප්‍රේල් මාසයේදී උනන්දුව ප්‍රකාශ කිරීම අවසන් වූ විට අපේක්ෂකයන් හය දෙනෙක් සිටියා. එය දැන් තුනක් දක්වා අඩු කරගෙන තිබෙනවා. රජය දැන් එම ආයතන තුන සමඟ කතා කරමින් සිටිනවා. ඉදිරියට සිදුවන්නේ කුමක්දැයි අපි බලමු, ”යනුවෙන් ඔහු පවසා තිබිණි.

එක් සමාගමකට යම් ඉන්දියානු මැදිහත්වීමක් ඇතුළත් බව වාර්තා පළ වී තිබුණ ද කිසිදු ඉන්දියානු සමාගමක් ගුවන් සේවයේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වා නොමැති බව නට්ල් සඳහන් කර තිබේ.

ඉදිරි මාස තුන ඇතුළත තවත් ගුවන් යානා තුනක් ලබාගැනීමට සැලසුම් කර ඇති අතර, ලබන මාසයේ දී දැනට පවතින ගුවන් යානා ඇණිය 21 සිට 22 දක්වා වර්ධනය කිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර ඇත.

ගුවන් සමාගම විසින් ආවරණය කළ යුතු ගමනාන්තයන් ඉදිරි කාලය සඳහා එලෙසම පවතිනු ඇති බව ඔහු පවසා ඇත.

කෙසේවෙතත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් දැනටමත් ආවරණය කර ඇති ගමනාන්ත වෙත ගුවන් ගමන් වාර ගණන වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.