August 22, 2023

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ඉදිරිපත්ව සිටින ඉන්දියානු සමාගම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ ලංසු කැඳවීමේ දී ඉදිරිපත් කර ඇති පිරිවිතරයන් අනුව මේ වනවිට සුදුසුකම් සපුරා ඇති එකම සමාගම වන ඉන්දියාවේ මැඩ්‍රාස් සිකියුරිටි සමාගම, මත්පැන් බෝතල්වල ස්ටිකර මුද්‍රණ ක්‍රියාවලියේ දීද බරපතල ලෙස ශ්‍රී ලංකාවට වංචා සමාගමක් බවද එම පක්ෂය පෙන්වාදෙයි.

ලෝක මට්ටමේ දී අවස්ථා ගණනාවක අසාධු ලේඛනගත වූ කුප්‍රකට සමාගමක් වන මෙයට ශ්‍රී ලංකාවේ පුරවැසි දත්ත ලබාදීම තුළ එම දත්තවල ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්කෙරෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (22) පෙරටුගාමී සමාජවාදී පක්ෂයයේ ජනමාධ්‍ය හමුව අමතමිනි.

එමෙන්ම ටෙන්ඩර් කැඳවීමේ අවසන් දිනය අතාර්කික ලෙස අවස්ථා ගණනාවක් දීර්ඝ කරමින් ඇත්තේ තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින් එම ටෙන්ඩරය ලබාදීමට බවටද හෙතෙම චෝදනා කරයි.

පුබුදු ජයගොඩ එහිදී මෙසේද පැවැසීය.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලියේ අක්‍රමවත්භාවය හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පුරවැසියන්ගේ දත්තවල පෞද්ගලික ආරක්ෂාව සහ පුරවැසි දත්ත පද්ධතියේ ප්‍රවේශය වෙනත් රටකට පැවරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්වීමේ ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමුකරන්න කැමතියි.

ශ්‍රී ලංකාව ‘ස්මාර්ට් ජාතියක්’ බවට පත්කරන බව කියමින් සැලසුම් කරන ලද ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අවදියේ පවතිනවා. සමස්ත ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම රුපියල් බිලියන 41.05ක් වන අතර එයින් රු. බිලියන 22.33ක ප්‍රමාණයක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් වනවා. ඉතිරි මුදල දැරිය යුතු වන්නේ ශ්‍රී ලංකා රජයයි. එම රු. බිලියන 18.72ක මුදල සොයාගැනීම අර්බුදයක් වන බැවින් වියදම් අඩු කරගනිමින් රුපියල් බිලියන 10.73ක ශ්‍රී ලංකා දායකත්වයෙන් 2024 වසරේදී ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවත් මෙහි ගැටලුකාරී තත්වය වන්නේ ව්‍යාපෘතියේ ප්‍රධානතම කොටසක් වන ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියයි. 2021 ජූලි මාසයේ ආරම්භ කරන ලද ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමේ කටයුත්ත අවසන් වී එයින් වසර 02කට පසුව 2023 මැයි 08වැනි දින ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ කරනු ලැබුවා. මෙහිදී ටෙන්ඩර් අවසන් කරනු ලබන දිනය ලෙස සඳහන් වූයේ 2023 ජූලි 03වැනි දිනයි. පසුව එය අගෝස්තු 14 දින දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව එම අවසන් කරනු ලබන දිනය ජූලි 18 දින දක්වා අඩු කරනු ලැබුවා. ඉන් පසුව නැවත එම දිනය අගොස්තු 01වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව එය තවත් දිනකින් දීර්ඝ කොට අගොස්තු 02වැනි දින දක්වා කල් තබනු ලැබුවා. මෙම කාලය අඩු වැඩි කිරීම් තුළ පවා යම් සැක සහිත චලනයක් හඳුනාගත හැකියි.

අගෝස්තු 02වැනි දින ටෙන්ඩරය අවසන් වෙද්දී ලංසු පත්‍රිකා මිලදී ගෙන තිබූ 07දෙනෙක් අතරින් තමන්ගේ මිල ගණන් සහිත ලන්සු ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ආයතන 02ක් පමණයි. මෙම තත්වය ඇති වූයේ ටෙන්ඩරයට අදාළව දැඩි පිරිවිතර කොන්දේසි සහ විශේෂයෙන් ඉන්දියානු පද්ධති මෙහෙයුම්කරුවන්ට පමණක් සම්පූර්ණ කළ හැකි තාක්ෂණික තත්වයන් ඇතුළත්ව තිබූ නිසා බව සඳහන් වනවා. විශේෂයෙන් පදනම් හැඳුනුම්පත් ව්‍යාපෘතියක් සතුවීම යන කොන්දේසිය ඉන්දියාවෙන් පිටත සමාගම්වලට නව සංකල්පයක් බව ප්‍රකාශ වෙනවා. එසේම අසීමිත වගකීම් පිළිබඳ කොන්දේසියද බොහෝ ඉල්ලුම්කරුවන් ඉවත් කිරීමට හේතු වූ බව පැවසෙනවා.

අවසානයේ ලන්සු ඉදිරිපත් කොට ඇත්තේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සහ ප්‍රෝටීන් යන සමාගම් ද්විත්වයයි. මෙයින් ප්‍රෝටීන් සමාගමද අපේක්ෂිත කොන්දේසිවල සඳහන් පදනම් හැඳුනුම්පත් ක්‍රියාවලියේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉවත් වීමේ වැඩි ඉඩක් පවතිනවා. අනතුරුව ඉතිරි වන ඉන්දියාවේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම අපේක්ෂිත කොන්දේසි තුළ සිටියද ඔවුන් විසින් පිලිපීන රජය වෙනුවෙන් සිදු කළ හැඳුනුම්පත් ව්‍යාපෘතිය අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව 2021 වසරේ පිලිපීන පුරවැසි කණ්ඩායමක් විසින්ද 2022 වසරේ පිලිපීන රජය විසින්ද නඩු පවරා තිබෙනවා. එසේම මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම මේ වන විටද ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු කිරීමට අදාළ කුප්‍රකට සමාගමක් වනවා.

පසුගිය 2016 කාලයේ මත්පැන් බෝතල්වල ඇලවීම සඳහා ස්ටිකරයක් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබාගෙන තිබුණේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමයි. එම ටෙන්ඩරයද මාස කිහිපයකින් අවලංගු කර නැවත වැඩි මිලකට එම සමාගමටම ලබාදීමේ සිදු වීමක් නිසා රජයට රුපියල් බිලියන 1.2ක් පාඩු වූ බවටද චෝදනා එල්ල වී තිබුණා. එම ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් බිලියන 60ක සුරාබදු අහිමි වීමෙන් පාඩු සිදු වූ බවද පසුගිය දෙසැම්බරයේ අධිකරණ අමාත්‍යවරයා විසින්ම පාර්ලිමේන්තුවට අනාවරණය කර තිබුණා. එසේම බදු මඟහැරීම සඳහා එම සමාගම විසින් මත්පැන් නිෂ්පාදකයින්ට හොර රහසේ ස්ටිකර් අලෙවි කිරීමේ සිදුවීමක් කෙන්යාවෙන්ද වාර්තා වී තිබුණා. එසේම මේ වන විට කෙන්යාව, සුඩානය සහ ලයිබීරියාව ඇතුළු රටවල් ගණනාවක සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම අසාදු ලේඛන ගත කරනු ලැබ තිබෙනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ අවසන් දිනය අවස්ථා ගණනාවක් වෙනස් වුණේ ඇයි? එම කාල සීමා වෙනස්වීම යම් තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදු වී තිබෙනවාද? ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධ වී ඇති තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්වීමේ ගැටලුකාරී තත්වයක් පැන නොනගින්නේද? මෙම තත්වයට අදාළව ආණ්ඩුව සතු විසඳුම කුමක්ද?”