January 25, 2024

විදේශ විනිමය හිඟය මධ්‍යයේ බැංකු විසින් ගනුදෙනුකරුවන්ට ඩොලර් අලෙවිය සීමා කර ඇති බැවින් මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රේෂණ එවීම පිළිබඳ ගැටලුවක මුහුණ දී සිටින බව වාර්තා වේ.

වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහට ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් එම ශ්‍රමිකයන්ට උණ්ඩියල් ක්‍රමය මත යැපීමට සිදුව ඇති බවයි.

පසුගිය මාස කිහිපය තුළ මාලදිවයිනේ මූල්‍ය අධිකාරියේ දේශීය වත්කම් ඉහළ ගොස් ඇති අතර ද්‍රවශීලතා පීඩනය මතඩොලර් ඉල්ලුම ඉහළ යෑම නිසා සංචිත අඩු වූ බව එරට දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් මාලදිවයිනේ හෝටල් අංශයේ ඉහළ විධායක රැකියාවල ඇතුළු අනෙකුත් කාණ්ඩවල සේවය කරති.

“මාලදිවයිනේ ඉහළ මට්ටමේ රැකියාවල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් සේවය කරනවා,ඔවුන්ට ගෙවීම් කරන්නේ මාලදිවයිනේ රුෆියාවලින්. ඒවා එහි බැංකුවල තැන්පත් කර තිබෙනවා. අපේ බැංකු දෙකක්, කොමර්ෂල් සහ ලංකා බැංකුව මාලදිවයිනේ තියෙනවා. මසකට ඩොලර් 1,000 සිට 3,000 දක්වා ලැබෙන ශ්‍රමිකයන් සිටියත් ඔවුන්ට ආපසු එවිය හැක්කේ ඩොලර් 250ක් හෝ 300ක් පමණයි, ” ආණ්ඩු පක්ෂයේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහට පැවසීය.

“කොමර්ෂල් බැංකුව 300යි ලංකා බැංකුව ඩොලර් 250යි දෙන්නෙ තමන්ට දාපු සීමාවට අනුව. ඉතින් ඒ අයට මුදල් යවන්න වෙන්නේ උණ්ඩියල් හරහා. එම නිසා මම මේ කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරවනවා. ලංකා බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුවක්, වාණිජ බැංකුව ද යම් නියාමනයක් යටතේ පවතින්නේ, එම නිසා මෙම ප්‍රේෂණ ශ්‍රී ලංකාවට යොමුකිරීමට උදව් කිරීමට ඔබගේ මැදිහත්වීම ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%