January 13, 2024

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අතරතුර සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණඇපයට ගත් බවට එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුමක් අතරතුර භාණ්ඩ ප්‍රවාහන ගුවන් රාජකාරීන්හි නියුතු ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් ඊයේ (12) දින Sam– Oundja වෙත ගොඩ බෑමේදි අධික දූවිලි සහිත කාළගුණ තත්වයක් හේතුවෙන් අනතුරට ලක්ව ඇත.

එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු හෙලිකොප්ටරයේ සිට ඇති අතර, අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලුදෙනා සහ එම හෙලිකොප්ටරය, මේ වනවිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සාම සාධක හමුදා කඳවුරේ ආරක්‍ෂිතව ඇති බවට ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.

සිදු වූ අනතුර පිළිබඳව ගුවන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය සම්බන්ධ කර ගන්නා ලෙසද ජනමාධ්‍යවේදීන්හට දැනුම්දී තිබේ.

42.31%
17.27%
32.76%