June 5, 2024

ලෝක කුසලාන T20 තරඟාවලිය සඳහා අමෙරිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කුඩම්මාගේ සැලකිලි හිමිවී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවාහන පහසුකම් සහ තරග කාලසටහන් සම්බන්ධයෙන් බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට අනුව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ සිට උපරිම මිනිත්තු 45ක දුරක් ඇතුළත කණ්ඩායම ස්ථානගත කළ යුතුව තිබෙන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත්තේ ගමනාගමනය සඳහා පැය එකහමාරක කාලයක් ගතවම දුරකින් පිහිටි හෝටලයක් බවත් ඔහු පැවසීය.

මෙම ගැටළු හේතුවෙන් කණ්ඩායමට පුහුණු සැසි මඟහැරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මෙම ගැටළුවලට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් බව ද පැවසුවේය.

“ඇයි අපේ කණ්ඩායමට විතරක් මේ කුඩම්මාගේ සැලකිලි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැත්නම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක එයාලගේ ප්‍රතිඵලයට බලපානවා,” ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව සොයාබලන ලෙසයි.

එහිදී සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියාසිටියේ මෙය ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකරන බවත් හෙට දිනයේ පිළිතුරු ලබාදෙන බවත්ය.