April 28, 2024

ICC කාන්තා T20 ලෝක කුසලාන 2024 සුදුසුකම් ලැබීමේ තරගවලදී මේ වන විට ශ්‍රී ලංකාව තරග දෙකක් ජයග්‍රහණය කර තිබේ.

නෙදර්ලන්තය, උගන්ඩාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ද ජයග්‍රහණය බැගින් වාර්තා කර ඇත.

ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයට එරෙහිව දැක්වූ ප්‍රමුඛ දස්කම් හේතු වී තිබේ.

පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව විසින් කළ ආරාධනය අනුව පිටියට පිවිසි ප්‍රතිවාදීන්ගේ බිඳ වැටුණු කඩුලු 10න් 9කටම හිමිකම් කීවේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නියන්ය.

ඉනෝෂි ප්‍රියදර්ශනී පළමු ඕවරයේදීම තීරණාත්මක පෙරළියක් සිදු කරමින් ඩාර්සි කාටර් ලකුණු නොලබා සිටියදීම දවා ගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය සකසමිනි.

වේලාසනින් කඩුල්ලක් දැවී ගියද, කත්‍රින් බ්‍රයිස් නොසැලී නැගී සිටිමින් පවර්ප්ලේ අතරතුර ප්‍රහාරයක් දියත් කළ අතර, උදේශිකා ප්‍රබෝධනීගේ පන්දුවකට හතරේ පහර දෙකක් ද එල්ල කළේය.

ඇය එම ප්‍රහාරයම සුගන්දිකා කුමාරිගේ පන්දු හමුවේ ද දියත් කළ නමුත් වමතින් දඟ පන්දු යවන සුගන්දිකා ඉන් පන්දු දෙකකට පසුව ප්‍රතිවාදී නායිකාව දවා ගැනීමට සමත් වූවාය.

අචිනි කුලසූරිය එක් කඩුල්ලක් දවාගනු ලැබුවේ ස්කොට්ලන්තයේ ලකුණු පුවරුව 32/3ක් ලෙස සටහන් කරවමිනි.

පසුව පන්දු යැවීමට පැමිණි කවිෂා දිල්හාරි ඉතිරි කඩුලුවලින් හතරක් දවා ගැනීමට සමත් වූවාය.

ස්කොට්ලන්තය වෙනුවෙන්, ලෝර්නා ජැක් ලකුණු 24ක් ලබාගත් අතර ඔවුන් සියලුදෙනා ලකුණු 94කට දැවී ගියහ.

ස්කොට්ලන්තයේ ලකුණු 95ක ඉලක්කය ප්‍රමාණවත් නොවන බව පවර්ප්ලේ අවස්ථාවේදීම ඔප්පු කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්විය.

චමරි ආරම්භයේ සිටම ආක්‍රමණශීලී පහරවල් මාලාවක් මුදාහරිමින් පළමු ඕවර හයේ දී පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගිනි.

චමරි අතපත්තු පන්දු 35කදී නොදැවී ලකුණු 59ක් රැස්කළ අතර එය ඇයගේ අන්තර්ජාතික T20 දිවියේ 10 වැනි අර්ධ ශතකයයි.

මේ අතර, විශ්මි ගුණරත්න පන්දු 25කදී නොදැවී ලකුණු 23ක් ලබා ගනිමින් සහය භූමිකාවක් ඉටු කළ අතර, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ළඟා වූයේ කඩුලු කිසිවක් නොදැවී පන්දු 59ක් ඉතිරිව තිබියදීය.