September 23, 2023

සිංගප්පුරුවේ නැඟෙනහිර වෙරළ පාරේ හෝටලයකදී තම සැමියා විසින් ඝාතනය කරන ලදැයි කියන ශ්‍රී ලාංකික කාන්තාව “බොහෝදෙනකුට යහළුවකු වූ අතර සැමවිටම කරුණාවන්ත වචනවලින් සහ සිනහවෙන් සිටි බව” ඇයව සිහිපත් කරන සටහනක සඳහන් කර තිබිණි.

පසුගිය සතියේ සිය සෙව්වන්දි මධුකා කුමාරිගේ ඛේදනීය මරණය ගැන මෙලෙස සටහනක් තබා තිබුණේ එලිසබෙත් කැම්පර් නම් සෙව්වන්දිගේ මිතුරියකි.

ඔවුහු ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටි එකම පන්තියේ මිතුරියන් වූහ.

සෙව්වන්දි මධුකා කුමාරිව සැප්තැම්බර් 09 වැනිදා Holiday Inn Express Singapore Katong හිදී ඇගේ සැමියා වන ඒෂාන් තාරක කූට්ටගේ යන අය විසින් ඝාතනය කර ඇති බව පැවසේ.

30 හැවිරිදි කූට්ටගේ නැමැත්තා එදින කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි මැරීන් පෙරඩ් අසල්වැසි පොලිස් මධ්‍යස්ථානයට පැමිණ ඝාතනය කළ බව පාපොච්චාරණය කිරීම හේතුවෙන් පොලිසියට අපරාධය දැන ගැනීමට හැකිව තිබේ.

පොලිස් නිලධාරීන් හෝටල් කාමරයට යන විට ඇය කැපුම් තුවාලයක් සහිතව මරණයට පත්ව සිටි ආකාරය දැක ඇත.

මෙම ඛේදවාචකය සිදු වන විට සෙව්වන්දි නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට ගොස් සිට ඇති බව මෙල්බර්න් හි පිහිටි ඇගේ විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

කැම්පර් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් ඩේලි මේල් වෙත ප්‍රකාශ කර ඇත්තේ, වසරකට වැඩි කාලයක් වෙන්ව සිටීමෙන් පසු සෙව්වන්දි තම සැමියා සමඟ නිවාඩුවක් ගත කිරීමට පැමිණ ඇති බවයි.

32 හැවිරිදි ඇය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර ඇයගේ සැමියා ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටි බව කැම්පර් අනාවරණය කර ඇත.

සෙව්වන්දිගේ අවමංගල්‍ය කටයුතු සඳහා ආධාර කරන ලෙස ද කැම්පර් ඉල්ලා තිබේ.

“සෙව්වන්දි ශ්‍රී ලංකාවෙන් පැමිණි බැවින්, ඇයගේ දේහය සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා ඇයගේ පවුලට ඔස්ට්‍රේලියානු ඩොලර් 8,000 (සිංගප්පූරු ඩොලර් 7,037) පමණ මුදලක් වැය වනු ඇත” යැයි කැම්පර් පවසා ඇත.

Daily Mail පුවත්පතට අනුව La Trobe විශ්වවිද්‍යාලය සැප්තැම්බර් 18 වන දින සෙව්වන්දි වෙනුවෙන් අනුස්මරණයක් පවත්වා ඇත.

කෙසේවෙතත් තවමත් මෙම ඝාතනය සිදුකිරීමට හේතුව හෙළිව නැත.