November 14, 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග දඹුල්ලේදී ඊයේ (13) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමිනු පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක එක්ව නවසීලන්ත පන්දුයවන්නන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 206ක් එක්කළහ. එහිදී කුසල් ලකුණු 143ක් සහ අවිශ්ක ලකුණු 100ක් වාර්තා කළහ.

කෙසේවෙතත්, වර්ෂාව හේතුවෙන් පන්දුවාර 50 සම්පුර්ණ නොකර ශ්‍රී ලංකා ඉනිම අත්හිටවූ විනිසුරුවරුන්, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ලකුණු 221ක ඉලක්කයක් තරගය ජයග්‍රහණය සදහා නවසීලන්තය⁣ට ලබාදෙන ලදී.

ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ 175ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 03ක් සහ මහීෂ් තීක්ෂණ සහ චරිත් අසලංක කඩුලු 02 බැගින් බිඳහෙළූහ.

 

42.31%
17.27%
32.76%