November 26, 2023

ඩොලර් බිලියන 4.5 ක වටිනාකමකින් යුතු ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රාජ්‍ය පිරිපහදු සමාගමක් වන සිනොපෙක් වෙත ශ්‍රී ලංකා රජය හෙට අනුමැතිය ලබාදීමට නියමිතය.

ඊට අදාළ යෝජනාව විෂය භාර ඇමැති කංචන විජේසේකර හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට සූදානම් බව පැවැසේ.

“එය සඳුදා න්‍යාය පත්‍රයේ තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබුණු පසු අපි ඔවුන්ට ගිවිසුම අත්සන් කරන්න ආරාධනා කරනවා,” යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උත්සාහ කරන ශ්‍රී ලංකාව නව ආයෝජන සහ දේශීය ඉන්ධන සැපයුම් සඳහා අවස්ථාව ගවේෂණය කරමින් සිටී.

අවම වශයෙන් ඩොලර් බිලියන 4.5 ක සිනොපෙක්ගේ ආයෝජනයේ වටිනාකම ඉදිරියේදී වැඩිවනු ඇති බවත්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වැඩිදුර විස්තර ලබාදිය හැකි බවත් ඇමැතිවරයා සඳහන් කර ඇත.

සිනොපෙක් සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන අලෙවි කිරීමේ කාර්යයට පිවිස සිටී.