December 25, 2024

ලබන වසරේ ජුනි මාසයේදී ලෝඩ්ස් හි පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් පසුව 2025-27 සඳහා වන නව තරග වටය ආරම්භ වීමට නියමිතව තිබේ.

එහිදී ප්‍රවීණ ක්‍රීඩකයන් දිගටම රඳවා තබාගන්නේද නැතහොත් ඒ වෙනුවට ටෙස්ට් අනාගතය වෙනුවෙන් තරුණ ජවය යෝදාගනීද යන්න තීරණය කිරීමේ භාරදූර කාර්යය ශ්‍රී ලංකා තේරීම් කමිටුව හමුවේ පවතී.

දැනට සිටින ප්‍රවීණතම ක්‍රීඩකයන් තිදෙනා මෑත කාලීනව දැක්වූ දක්ෂතා මත පදනම්ව ඔවුන් තවදුරටත් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුවනු ඇත.

මෑතදී දකුණු අප්‍රිකාව සමග තරඟ දෙකකින් සමන්විත තරඟාවලියක් පරාජය වීමත් සමඟ 2025 ලෝක ශුරතා ටෙස්ට් අවසන් මහා තරඟයට පැමිණීමේ ශ්‍රී ලංකා සිහින බිඳවැටිණි.

ඕනෑම දැඩි පියවරක් ගැනීමට පෙර දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සමඟ සංවාදයක යෙදී අන්‍යෝන්‍ය අවබෝධය ඇතිව එය සිදුකරන බවට තරංග දැනටමත් ඉඟිකර ඇත.

කෙසේවෙතත්, ඔවුන් තිදෙනා ටෙස්ට් පිටියේ දිගින් දිගටම අසාර්ථක වුවහොත්, පසුව ගැටලුවලට මුහුණ දිය යුත්තේ තේරීම් කමිටු සාමාජිකයන්ය.

ඔවුන්ගේ අපොහොසත්කම මත අනාගතය ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව ලබාදෙනු ඇත.

ඒ අනුව, ජාතික කණ්ඩායමේ හිටපු නායකයන් සහ වයස්ගතම ක්‍රීඩකයන් වන කරුණාරත්න, චන්දිමාල් සහ මැතිව්ස්ට, මීළඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග වටය ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.

36 වැනි වියේ පසුවන හිටපු නායක සහ ආරම්භක පිතිකරු කරුණාරත්න ඔහුගේ ක්‍රිකට් දිවියේ දැන් සිටින්නේ සන්ධ්‍යා කාලයේ යැයි කිව හැකිය.

දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඔහු දැක්වූ අඩු දස්කම් ඔහුගේ ටෙස්ට් අනාගතයට සුබදායක නැත.

සිය වෘත්තීය දිවියේ ටෙස්ට් තරග 100ක සන්ධිස්ථානයට ආසන්න වෙමින් සිටින ඔහු මෑත ඉනිම් 19ක්ම ගෙවා දැමුවේ ශතකයක් නොමැතිවය.

තේරීම් කමිටු ප්‍රධානියා කරුණාරත්නට ඔහුගේ දස්කම් අතරට පැමිණීමට අවස්ථාවක් ලබා දීමට අදහස් කර ඇත.

කෙසේවෙතත්, ලබන මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් ඔබ්බට ද ඔහු අපොහොසත් වුවහොත් ඔහුව පසෙකින් තැබීමට තේරීම් කමිටුවට සිදුවනු ඇත.

37 හැවිරිදි හිටපු නායක මැතිව්ස් ද ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත ස්ථානයක සිටින අතර, ඉනිම 18කදී එක් ශතකයක් පමණක් වාර්තා කර තිබේ.

ඔහුගේ මෙරට තුන්වැනි වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා (8,042) වුවද, ඔහුට ඔහුගේ සුපුරුදු පිතිකරණ ජවය නැවත සොයාගැනීමට නොහැකි වුවහොත් ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇත.

පසුගිය වසර 16 තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම ආකෘතියකම වෙහෙස මහන්සි වී වැඩ කළ පිතිකරුවකුට මෙය නොගැළපෙනු ඇත.

35 වියැති චන්දිමාල් ද දකුණු අප්‍රිකාවේදී දැක් වූ දස්කම් අනුව බොහෝදුරට එය ඔහුගේ අවසන් ටෙස්ට් විදේශ සංචාරය වනු ඇත.

ඔහු මෑතකාලීනව ලකුණු අතර සිටියද, තම කණ්ඩායම ටෙස්ට් තරඟවලදී සෑමවිටම සාර්ථකත්වයක් කරා ගෙන යෑමට තරම් දක්ෂ වී නැත.

එම නිසා නව වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් ඔබ්බට, චන්දිමාල්ගේ අනාගතය ද තරංග ඇතුළු කමිටුව විසින් බැරෑරුම් ලෙස තක්සේරු කරනු ඇත.

කලින් කලට පමණක් දස්කම් දක්වන පළපුරුදු ක්‍රීඩකයන් කෙරෙහි අන්ධ විශ්වාසයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට යහපතක් නොගෙනෙනු ඇත.

 

42.31%
17.27%
32.76%