September 6, 2023

පසුගිය වසරේ ජනතා විරෝධතා වලදී බලාපොරොත්තු වූ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ ඓතිහාසික පරිවර්තනයක් සිදුවී නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාව සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ,
“වසරකට පෙර මහජන විරෝධතා ඉල්ලා සිටියේ වඩා හොඳ පාලනයක් සහ ශ්‍රී ලංකාව සඳහා දැක්මකි. කෙටියෙන් කිවහොත්, සමාජ ගිවිසුම අලුත් කිරීමකි. එහෙත් දිගුකාලීන අභියෝගවලට මුහුණදෙන ඓතිහාසික පරිවර්තනයක් සඳහා ඇති හැකියාව සාක්ෂාත් කරගත නොහැකි තරම් ය.

ශ්‍රී ලංකාව අඛණ්ඩව වගවිමකින් තොරව කටයුතු කරමින් සිටියි. යුධ අපරාධ, වඩාත් මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝන, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම රට තුළ දැකගත හැකිය.

සෑම ආකාරයකම නිදහස් හා සාධාරණ මැතිවරණ හරහා දේශපාලන සහභාගීත්වයේ අයිතිය සහ ඡන්දදායකයන්ගේ නිදහස් ප්‍රකාශනය සහතික කළ යුතුය.”

යෝජිත විකාශන නියාමන කොමිෂන් සභාව පිළිබඳවද වාර්තාව කනස්සල්ල ඉස්මතු කර ඇත.
“යෝජිත විකාශන නියාමන කොමිෂන් සභාව රජය විසින් පත් කරන ලද නිලධාරීන් පස්දෙනකුගෙන් සමන්විත වන අතර, එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. මේ අනුව, පනත් කෙටුම්පත තවදුරටත් අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට ඇති හැකියාව පිළිබඳව කනස්සල්ල මතු කරන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19(3) වගන්තියට නොගැළපෙන බව පෙනේ”

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි මානව හිමිකම් කඩකිරීමේ සංකේතාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස වාර්තාව රජයෙන් ඉල්ලා තිබේ.

“2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අන්තර්ජාතික සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මහ කොමසාරිස්වරයා මීට පෙර ඉල්ලා ඇත” යනුවෙන්ද වාර්තාව සඳහන් කරයි.

අතුරුදන්වීම් සම්බන්ධයෙන් රජය විසින් යෝජිත නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිළිබඳව ද වාර්තාව සැක පහළ කර ඇත.

“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. එය වගවීම සඳහා පැහැදිලි කැපවීමක් සහ දුරදිග යන වෙනසක් ක්‍රියාවට නැංවීමේ දේශපාලන අභිලාෂය සමඟ පැමිණිය යුතුය”යැයි මහකොමසාරිස් ටර්ක් වැඩිදුරටත් පවසා ඇත.