April 4, 2025

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම ඊයේ ( 03) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණී.

මෙම ගිවිසුම අත්සන් කිරීම කොළඹ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී සිදුකළ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ගාකු අඩාචි ගිවිසුමට නිල වශයෙන් අත්සන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ප්‍රයත්නයන් සඳහා මූල්‍යකරණ කටයුතු සිදුකරන Official Development Assistance (ODA) ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇති ව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබයි.

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවට අනුගතවීම මෙහි මූලික අරමුණ වී තිබේ.

මේ ඔස්සේ භෞමික රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත්කිරීම හේතුවෙන් සුපැහැදිළි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් රූපවාහිනී සහ ගුවන්විදුලි භෞමික–සම්ප්‍රේෂණ සිතියම පදනම් වී ඇත්තේ ඇනලොග් තාක්ෂණය මතය. ලෝකයේ බොහෝ රටවල් ඩිජිටල් වේදිකා වෙත අවතීරණ ව හෝ ගමන් කරමින් සිටී. ඩිජිටල් තාක්‍ෂණය තුළින් ඇනලොග් සම්ප්‍රේෂණ දුර්වලතා මඟහරවා ගන්නා අතර විශාල අගය එකතු කිරීමක් ලෙස, ඇනලොග් ක්‍රමවේදයට වඩා වැඩි තොරතුරු රැගෙන යාමට සමත් වේ.

මෙම ධාරිතාව වැඩි කිරීමේ විශේෂ හැකියාව නිසා එක් සංඛ්‍යාත පරාසයක් මත වැඩසටහන් කිහිපයක් ගෙන යාමට උපකාරී වන බැවින්, ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ තාක්ෂණය ඇනලොග් ක්‍රමයට වඩා සමස්ත ගුවන්විදුලි තරංග පද්ධතියේ (Frequency Spectrum) ඉහළ ඵලදායිතාවක් ඇති කරයි.

මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු, ඇනලොග් සම්ප්‍රේෂණ පද්ධතිය ක්‍රියාවිරහිත කරනු ලබන අතර, මෙම තරංග පද්ධතිය විදුලි සංදේශ කටයුතු සහ ඩිජිටල් ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි වේ.

ඩිජිටල් රූපවාහිනිය වෙත සංක්‍රමණය වීමෙන්, වේගයෙන් විකාශනය වන ගෝලීය මාධ්‍ය භූ දර්ශනයක් තුළ තරග කිරීමට අවස්ථාව වන බවත්, වෙනස්කම් වැළඳ ගනිමින් මාධ්‍ය, විනෝදාස්වාදය සහ සන්නිවේදන ක්ෂේත්‍රවල අනාගත වර්ධනය සඳහා වේදිකාව සකස් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.