November 28, 2024

රසායනික අවි සම්මුතියේ විධිවිධාන පූර්ණ, ඵලදායි සහ වෙනස් කොට සැළකීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය දිගුකාලීන කැපවීම නෙදර්ලන්තයේ හේග් නගරයේ ඊයේ පැවති රසායනික අවි සම්මුතියට අදාළ රාජ්‍ය පාර්ශවයන්ගේ සමුළුවේ 29 වැනි සැසියේදී නැවත අවධාරණය කළේය.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ද වන නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි රේඛා ගුණසේකර එම සමුළුවේ දී අදාළ ප්‍රකාශය සිදු කළාය.

සම්මුතිය ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය හඳුනා ගනිමින් තානාපති ගුණසේකර ප්‍රකාශ කළේ එහි අවසාන සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා එහි දක්වා ඇති බැඳීම් සඳහා තිරසාර කැපවීම ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඕනෑම අවස්ථාවක, ඕනෑම තත්වයක් යටතේ ඕනෑම අයකු විසින් රසායනික අවි භාවිතයට හෝ තර්ජනයකට ලක් කිරීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ බව ඇය ප්‍රකාශ කළාය.

ජාතික මට්ටමින් තම වගකීම ඉටු කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරන බව අවධාරණය ඇය, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදු කරන ලද කාර්යයන් කිහිපයක් ද විස්තර කළේය.

සම්මුතියට අනුකූලව සාමකාමී අරමුණු සඳහා විද්‍යාත්මක හා තාක්‍ෂණ හුවමාරුව සඳහා වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවක් සඳහා ශ්‍රී ලංකාව සහාය දෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

රසායනික කර්මාන්තයට අදාළව AI වැනි තාක්‍ෂණයෙන් ලබා දිය යුතු ධනාත්මක අංශ ප්‍රයෝජනයට ගනිමින් නැගී එන තාක්‍ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.

එසේම රසායන විද්‍යා ක්ෂේත්‍රයේ දියුණුව ත්‍රස්තවාදීන් අතට පත් නොවීමට සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 වන දින රසායනික අවි සම්මුතියට අත්සන් කළ අතර 1994 අගෝස්තු 19 වන දින එය අනුමත කරන ලදී.

ඒ යටතේ වගකීම් ඉටු කිරීම සඳහා, ශ්‍රී ලංකාව දැනට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජාතික අධිකාරියක් පිහිටුවා ඇත.

රසායනික අවි සම්මුතිය යනු රසායනික අවි සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම සහ භාවිතය තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියේ පොදු නාමයයි.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය හේග් හි පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 193කින් සමන්විත වේ.

 

42.31%
17.27%
32.76%