September 11, 2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කර තිබෙන නවතම වාර්තාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර තිබේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙස අදහස් දක්වමින් හිමාලි අරුණතිලක සඳහන් කළේ ස්වෛරී පාර්ලිමේන්තු විෂය පථය යටතේ සාර්ව ආර්ථික විද්‍යාව මෙන්ම මූල්‍ය සහ අයවැය ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නියම කර ඇති මානව හිමිකම් ක්ෂේත්‍රය එම වාර්තාව ඉක්මවා ඇති බවයි.

පුළුල් ලෙස පිළිගෙන ඇති පරිදි දූරදර්ශී ආර්ථික තීරණ ගැනීමේ සහ මූල්‍ය අධීක්‍ෂණ සහ පාලනයේ එකතුවක් තුළින් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමට සමත් වී ඇති බව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක පෙන්වා දුන්නාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ ඒ ආශ්‍රිත ගිවිසුම් සමඟ සම්බන්ධ වීමට ඇති දිගුකාලීන කැපවීම ද මෙහිදී ශ්‍රී ලංකාව යළි අවධාරණය කර තිබේ.

සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන අතරම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රගතියක් ලබා ඇති බව නිත්‍ය නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවට රජයේ ලිඛිත ප්‍රතිචාරය මගින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලය සහ සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අතුරු ලේකම් කාර්යාලය ඇතුළු දේශීය ක්‍රියාවලීන් හරහා අඛණ්ඩ උත්සාහයන් අවධාරණය කරමින් විස්තර සපයන ලදී.

අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහය වීම සඳහා ‘අස්වැසුම’ වැඩසටහන වැනි සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බව තානාපති අරුණතිලක අවධාරණය කළාය.

දශක ගනනාවක කුරිරු ත්‍රස්තවාදී ගැටුමකදී එල්ටීටීඊය විසින් සිදු කරන ලද සාහසික ක්‍රියා පිළිගැනීමට අපොහොසත් වූ, සමතුලිතතාවක් නොමැති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවට ශ්‍රී ලංකාව සම්බන්ධ නොවන බව නිත්‍ය නියෝජිතවරිය ප්‍රකාශ කළාය.

51/1 යෝජනාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති පිළිගත නොහැකි සහ ඵලදායීතාවට එරෙහි බාහිර යාන්ත්‍රණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව නැවත අවධාරණය කළේය.