July 19, 2023

අඟහරුවාදා(18) නිකුත් කරන ලද හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ගෝලීය ගමනාන්ත 192 ක් දක්වා වීසා රහිතව ගමන් කිරීමට ඉඩ සලසන, සිංගප්පූරු ගමන් බලපත්‍රය, ලොව සියලුම ගමන් බලපත්‍ර අතරින් බලවත්ම ගමන් බලපත්‍රය ලෙසට ශ්‍රේණිගත කර ඇත.

මීට පෙර එම ස්ථානයේ පසුවූයේ ජපානයයි.

ශ්‍රී ලංකාව ලිබියාව සමඟ එම දර්ශකයේ 95 වන ස්ථානයට පත්ව ඇති අතර, රටවල් 41 ක් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට වීසා රහිත ගමන් හෝ වීසා පැමිණීමෙන් පසු(visa-free travel or visa-on-arrival) ලබාදීම සිදුකරයි.

අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) දත්ත මත පදනම් වූ මෙම දර්ශකය, ලොව පුරා ගමනාන්ත වෙත වීසා රහිතව ප්‍රවේශවීමට ලබාදී ඇති හැකියාවන් මනිනු ලබයි.

සිංගප්පූරු පුරවැසියන්ට ලොව පුරා සංචාරක ගමනාන්ත 227 න් 192 කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, පසුගිය වසර පහ තුළ පළමු ස්ථානයේ සිටි ජපානය, ලොව පුරා රටවල් 189 කට වීසා රහිත ප්‍රවේශය සමඟ තුන්වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.

ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ලක්සම්බර්ග්, දකුණු කොරියාව සහ ස්වීඩනය යන රටවල්ද ජපානය සමග 03වැනි ස්ථානයේ රැඳී සිටී.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 2022 දී 103 වන ස්ථානයට සහ 2021 දී 107 වන ස්ථානයට පත් විය.