June 29, 2023

‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ මතුව ඇති ගැටලුවලට ඉදිරි සතියේදී විසඳුමක් ලබාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා කර සතියකින් පසුව විසඳුමක් ඉදිරිපත් කරන බව ඊයේ (28) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබන බොහෝ පිරිසක් අස්වැසුම යෝජනා ක්‍රමය සඳහා තෝරාගෙන ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන සුදුසුකම්ලත් බොහෝ පිරිසකගේ නම් මකා දමා ඇතැයි තමා ජනාධිපතිවරයාට පැහැදිලි කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමාට ලැබී ඇති තොරතුරු අනුව සියයට 70කට පමණ සමෘද්ධි සහනාධාරය අහිමි වී තිබෙන බවත්, නව අස්වැසුම වැඩසටහන වෙනුවෙන් ලබාදී ඇති ජංගම දුරකථන යෙදුමේ වැරදි තොරතුරු බොහොමයක් අඩංගු වන බවත්, ඔහු පවසයි.

එම නිසා මෙම වැඩසටහන වහාම නැවත්වීමට පියවර ගන්නා ලෙසද තමා පවසා ඇතැයි, මන්ත්‍රීවරයා කියයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙම වැඩසටහන සමාලෝචනයක් කරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයේ නම ඇතුළත් නොවූ සියලුම අයදුම්කරුවන්ට ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පසුගියදා ඉල්ලා සිටියේය.

එමෙන්ම අභියාචනා ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ අවසන් ලැයිස්තුව සම්පාදනය කරන බවත්, ප්‍රසිද්ධියට පත් කර ඇති නම් ලැයිස්තුව කිසිසේත් අවසන් ලැයිස්තුව නොවන බවත්, ඔහු සඳහන් කර ඇත.