June 7, 2024

පන්නල ප්‍රදේශයේ මහා පරිමාණ සත්ව ගොවිපොළක් සහ පොල් තොග වශයෙන් මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්ෂ සීයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් බලහත්කාරයෙන් රැගෙන ගියේ යැයි කියන දෙදෙනෙක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

එම මෝටර් රථය බලහත්කාරයෙන් රැගෙන ඒම සඳහා හවුල් වූ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ද එම කොට්ඨාසය පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මෙම සිද්ධියට තවත් උසස් පොලිස් නිලධාරියකුගේ සම්බන්ධයක් ඇත්දැයි යන්න සොයාගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලක්ෂ විසිහතරක මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත කොබෙයිගනේ, විතිකුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු තවත් පුද්ගලයකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සමග පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයා හමුවීමට ගොස් ව්‍යාපාරිකයා විතිකුලිය ප්‍රදේශයේ පුද්ගලයාට ලබාදීමට ඇතැයි කියන ලක්ෂ 24 ක මුදල ඉල්ලා ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

කොරෝනා සමයේ සිට ව්‍යාපාරික කටයුතු අඩාළ වී ඇති නිසා ලක්ෂ විසිහතරක මුදල එක්වර ගෙවිය නොහැකි නිසා ලක්ෂ දහයක මුදලක් පමණක් මේ අවස්ථාවේ ලබා දී ඉතිරි මුදල පසුව ලබාදිය හැකි බව පන්නල ව්‍යාපාරිකයා මෙම පිරිසට දැනුම් දී ඇතැයි ද පොලිසිය කියයි.

නිල ඇඳුමෙන් සැරසී ගිය ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මුළු මුදලම මේ අවස්ථාවේ ලබාදිය යුතු බව ව්‍යාපාරිකයාට තර්ජනය කර ලක්ෂ සියයක් වටිනා මෝටර් රථය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාපාරිකයාගෙන් එම මෝටර් රථය රැගෙන යෑමට ප්‍රථම ඔහු කැමැත්තෙන් එය ලබාදුන් බවට බලහත්කාරයෙන් ලියුමකට ද අත්සන් කරගෙන ඇති බව පොලිසිය කියයි.

ඒ බව ව්‍යාපාරිකයාගේ බිරිඳ ඇතුළු පවුලේ කිහිපදෙනකුම පොලිසියට ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇතැයි කියති.

මේ සම්බන්ධයෙන් පන්නල පොලිස් ස්ථානයට පැමිණිලි කළත් එම පැමිණිල්ලට සාධාරණයක් ඉටුනොවූ නිසා පන්නල ව්‍යාපාරිකයා මේ බව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නල ව්‍යාපාරිකයාගෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය රථය ද පොලිස් භාරයට ගනු ලැබීය. (ලංකාදීප)

42.31%
17.27%
32.76%