December 20, 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ දෙවැනි පක්ෂ සම්මේලනය තරම් සංවිධානාත්මක පිරිස් මඩගහන්න සහ අපවාද චෝදනා එල්ල කරන්න උත්සහ කළ සම්මේලනයක් ලංකා ඉතිහාසයේ කිසිදා නොතිබූ බවත්, එමෙන්ම මෙතරම් සාර්ථක පක්ෂ සම්මේලනයක් ද ලංකා ඉතිහාසයේ නොතිබූ බවත්, එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

පක්ෂයක් වශයෙන් මේ මොහොතේ ඔවුන් ආඩම්බර වන බවත්, ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට ඉතාම ශක්තිමත්ව මුහුණදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත්, මහලේකම්වරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ පවසා තිබේ.

එහිදී මහලේකම්වරයා මෙසේද පවසා ඇත.

”පසුගියදා පැවැති පක්ෂ සම්මේලනය මඟින් අපේ පාක්ෂිකයෝ මේ රටට දැවැන්ත පණිවිඩයක් දිලා තිබෙනවා. ඒ පණිවිඩය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අදටත් මේ රටේ දැවැන්තම පක්ෂය, සංවිධානාත්මක පක්ෂය සහ අංක එකේ පක්ෂය ලෙස. පක්ෂයක් විදිහට අපි ආඩම්බර වෙනවා. පක්ෂයක් විදිහට ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට ඉතාම ශක්තිමත්ව මුහුණදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා. කුමන මැතිවරණයක් වේවා ඊළඟට පැමිණෙන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබන්න අපි මේ වන විට සූදානම්.

මේ රටේ ජනතාවගේ ජිවන බර වැඩිවෙනමින් තිබෙනවා. මේ රටේ ජනතාවට වැට් බද්ද නිසා තවත් ඉදිරියට බඩු මිල ඉහළයෑමක් සිදුවෙන්න තිබෙනවා. මෙය නොවේ පක්ෂයක් විදිහට අපි මේ ඊටට දෙන්න බලාපොරොත්තු වුණේ. මහින්ද චින්තනය තුළිනුත්, සෞභාග්‍ය දැක්ම තුළිනුත් අපි මේ රටට ලබාදීපු දෙය නොවේ අද මේ රටට ලැබෙමින් පවතින්නේ. එය ඉතාම අවාසනාවන්ත තත්වයක්. පක්ෂයක් විදිහට මේ සියලුදේට සියයට සියක් ඒ ආකාරයෙන්ම එකඟ නොවුනත් මේ අවස්ථාවේදී රජය අපහසුතාවයට පත්කරලා මේ රටේ අරාජික තත්වයක් ඇති කරන්න පක්ෂයක් හැටියට අපි කැමති නැහැ. ඒ නිසා මේ තත්වයෙන් ගෙනියන්න පක්ෂයක් හැටියට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තුව තුළ ලබාදීම සිදුකළා.

සමහර කාරණා සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවයක් නැති බවක් අපි පක්ෂයක් හැටියට ප්‍රකාශ කරනවා. මෙහි ඉතාම අවාසනාවන්තම තත්වය තමයි පහුගිය කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුතමාට සහ තවත් කිහිපදෙනෙකුට එරෙහිව. ඒ නඩුවේ තියුණු ප්‍රධාන චෝදනාවක් තමයි ලංකාවේ බදු මුදල් අඩු කරලා මේ රටට හානියක් කළා කියලා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ එක් සාමාජිකයෙක් ජනතාවගේ බදු මුදල් අඩු කිරීම වරදක් කියලා තීන්දුවක් ලබාගන්නකොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අනෙකුත් සාමාජිකයින් පාරේ උද්ඝෝෂණ කරනවා වැට් බද්ද අඩු කරන්න, ආදායම් බදු අඩු කරන්න කියලා. මෙය දෛවයේ සරදමක්. ඔවුන් මේ සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කරන්න ඕන. බදු මුදල් අඩුකරන්න කියලා පාරේ උද්ඝෝෂණ කරන්නයි, හිටපු ජනාධිපතිවරයා බදු මුදල් අඩුකළා කියලා ඒකට විරුද්ධව උසාවි යන්නයි මේ දෙබිඩි පිළිවෙතේ තේරුම මොකක්ද කියලා.”

42.31%
17.27%
32.76%