52%
16.8%
23.9%
August 17, 2024

දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීම සඳහා කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි මුල්ගල තැබීමට එරෙහිව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය නැවත අවධාරණය කිරීම සඳහා විදේශ ඇමැති අලි සබ්රි කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසන්නේ 2024 අගෝස්තු 14 වැන දින කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි චිංගුකවුසි උද්‍යානයේ දී මුල්ගල තැබූ දෙමළ ජන සංහාර ස්මාරකය කැනඩාවේ ‘ඡන්ද බැංකු දේශපාලනය’ පවත්වාගෙන යෑමේ ප්‍රයත්නයේ කොටසක් බවයි.

“කැනඩාව තුළ ‘ඡන්ද බැංකු දේශපාලනය’ සඳහා පවත්වාගෙන යන මෙම සාහසික ව්‍යාජ ක්‍රියා ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරනවා. බ්‍රැම්ප්ටන් නගර සභාවේ අයථා ක්‍රියාමාර්ග කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ සාමයට ලැදි සියලු දෙනාට අප්‍රසන්න අත්දැකීමක්” යැයි ඇමැති සබ්රි සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් පිළිබඳ චෝදනාව ද්වේශ සහගත සාවද්‍ය තොරතුරු මත පදනම් වූ ප්‍රබන්ධයක් වන අතර එය ජාතික හෝ අන්තර්ජාතිකව කිසිදු වගකිවයුතු අධිකාරියක් විසින් සනාථ නොකරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

“පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ ආර්ථික අර්බුදයක් පැවතියද ගැටුම් අවසන් වීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට සහ තිරසාර සාමයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය නිරතුරුව උත්සාහයක නිරත වූ අතර එවැනි බෙදුම්වාදී ක්‍රියාවන් ත්‍රස්තවාදය උත්කර්ෂයට නංවා අසමගිය සහ ශ්‍රී ලංකාව සහ කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවලට අනුමත කළ නොහැකි අවිශ්වාසය වපුරමින් එම ප්‍රයත්නයන් හෑල්ලු කරනවා.,” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙමගින් ද්විපාර්ශ්වික සබඳතාවලට ඇති වන අහිතකර බලපෑම හඳුනාගෙන තවදුරටත් හානියක් සිදු නොවීමට කඩිනම් පියවර සහ කැනඩා රජය මැදිහත් වී මෙම ස්මාරකය ඉදිකිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස විදේශ ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

 

52%
16.8%
23.9%