December 1, 2023

අනෙකුත් රටවලට සාපේක්ෂව අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් බව පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවක් අනාවරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පැවැති පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ අවධානයට මෙම කාරණය යොමුකර තිබේ.

වන සතුන් මැරීම සඳහා අදාළ දණ්ඩ ගාස්තු සංශෝධනය කළ යුතු බවට එහිදී යෝජනා වී ඇති අතර, වන අලි පොදු දේපළක් ලෙස බල ගැන්වීමෙන් අදාළ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමට ද යෝජනා ඉදිරිපත් වී ඇත.

එමෙන්ම මෙරට වන අලි නිතර මියයන එක් අවස්ථාවක් ලෙස නීතිවිරෝධී අධි බලැති විදුලි රැහැන් සවිකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් නොමැති බැවින්, පැහැදිලි අර්ථකථනයක් සහ ඊට අදාළ දඬුවම් ඇතුළු නව වගන්ති හඳුන්වාදීම පිළිබඳව ද කමිටුව සාකච්ඡා කර ඇත.

ඒ අනුව කමිටුවේ සාකච්ඡාවට බඳුන් වූ පනත් සංශෝධනවලට අදාළ දැනට පවතින යෝජනා නැවත වාර්තා කිරීම, වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති කමිටුවක් හරහා අදාළ නිර්දේශ පිළිබඳ එකඟතාවකට පැමිණීම සහ නිශ්චිත කාලයක් යටතේ පනත සංශෝධනය කිරීම අවසන් කිරීමට කමිටුව නිර්දේශ කර තිබේ.

42.31%
17.27%
32.76%