February 5, 2025

ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළුව මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් පිටුවහල් කිරීමට සිදු කර ඇති සැලසුම් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අමෙරිකාවෙන් නිල දැනුම්දීමක් අපේක්ෂාවෙන් සිටින බව The Daily Morning වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් අමෙරිකාවේ නව පරිපාලනය යටතේ පිටුවහල් කිරීමට නියමිත මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයන් 3,065 ක් සිටින බව අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය ඉකුත් දා අනාවරණ කර තිබිණි.

The Daily Morning කළ විමසීමකදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා ඇත්තේ, මෙම පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මෙරට රජයට අමෙරිකාවෙන් කිසිදු නිල පණිවිඩයක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් අමෙරිකාව එවැනි දැනුම්දීමක් සිදුකිරීම අනිවාර්ය නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“අපට ලැබී ඇති තොරතුරුවලට අනුව එහි නීත්‍යානුකූලව පදිංචිව සිටින බොහෝදෙනකුට රැකියා අහිමි විය හැකියි. එහෙම ප්‍රශ්නයක් එහෙමත් තියෙනවා. සමහර ප්‍රතිපත්ති සංශෝධනය වෙනවා. පසුගිය දිනක පැවති උත්සවයකදී මම මේ පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රජය අමෙරිකාවෙන් නිල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, අමෙරිකාවට මේ සම්බන්ධයෙ අදහස් දැක්වීමට තවත් කාලයක් අවශ්‍ය බව ඔවුන් විශ්වාස කරන බවයි.

“අපට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්න පුළුවන්, නමුත් අපි සිතන්නේ ඔවුන්ට තවත් කාලයක් අවශ්‍ය බවයි. කවුරු හරි එහි නීතිවිරෝධී ලෙස රැඳීසිටිනවා නම්, එය නීතියට පටහැනියි. අපට මැදිහත් විය හැකි ප්‍රමාණය අධ්‍යයනය කළ යුතුයි. කෙසේවෙතත්, මෙය තවමත් පැහැදිලි නැහැ, නිල දැනුම්දීමක් සිදුකරන තෙක් අපි බලාගෙන ඉන්නවා” ඔහු පැහැදිළි කළේය.

අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය විසින් නිකුත් කරන ලද ලේඛනයකට අනුව, පසුගිය වසරේ (2024) නොවැම්බර් 24 වන විට අමෙරිකාවේ පුරවැසියන් නොවන 1,445,549 ක් එරට තුළ සිටින අතර, එම සංඛ්‍යාවට ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළත් වේ.

ඒ අනුව සිය රටවැසියන් යැයි සැකකෙරෙන පුද්ගලයන්ගේ පුරවැසිභාවය තහවුරු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස අමෙරිකානු රජය විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

42.31%
17.27%
32.76%