November 3, 2023

ශ්‍රී ලංකාවට අපතේ යැවීමට කාලයක් නොමැති බවත්, මැදි ආදායම් රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව, මෑතකදී ඇතිවූ ආර්ථික අර්බුදයන්වලින් පසුබට විය යුතු නැති බවත් ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් පැවැසීය.

ඉන්දියාව සෑම අවස්ථාවකම ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සූදානමින් සිටින බවද ඇමැතිනිය පෙන්වා දුන්නාය.

ඉන්දීය මුදල් ඇමතිනිය මේ බව සඳහන් කරන ලද්දේ, ඊයේ පස්වරුවේ කොළඹදී පැවැති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව අමතමිනි.

එහිදී මුදල් ඇමැතිනිය මෙසේද සඳහන් කළාය.

“අප පොදු අභිලාෂයක් සහිත ක්ෂේත්‍ර කඩිනමින් හඳුනාගත යුතු අතර ඒ සඳහා කාලය අපතේ යැවිය නොහැකියි. මම එහෙම කියන්නේ ඉන්දියාව ශීඝ්‍රයෙන් සංවර්ධනය ලබන ආර්ථිකයක් නිසා. අපේ සාර්ව ආර්ථික තත්ත්වය ශක්තිමත් බව ප්‍රදර්ශනය කර ඇති අතර, විශ්වාසය ගොඩනංවා, වර්ධනයක් ලැබීමට එය ඉවහල් වී තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එය අවශ්‍යයි.”

“ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අර්බුදයේ ප්‍රකෘතිමත්භාවයට පත්වූ වේගය සළකනවිට ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සතු ශක්තිය එමගින් පිළිබිඹු වන බව කිව යුතුයි. මැදි ආදායම් රටක් බවට පත්වූ ශ්‍රී ලංකාව මෑතකදී ඇතිවූ තත්ත්වයෙන් පසුබට විය යුතු නැහැ. සංචාරක කර්මාන්තය සහ තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සලකුණු කර්මාන්තයක් වුවත්, එය ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස තවදුරටත් පවත්වාගත යුතු වුවත්, ඔබේ ආර්ථික පරාසය තවදුරටත් පුළුල් කළ යුතු බවයි මගේ අදහස වන්නේ. එහිදී අප දෙරටේ නායකයින් සිය ඒකාබද්ධ ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි බලශක්තිය එම ආර්ථික පරාසයේ මූලිකාංගයක් කළ හැකියි. ඉන්දීය කර්මාන්තකරුවන්ට මෙහි පැමිණෙන ලෙස ආරාධනා කරන අතර මෙහි කර්මාන්තකරුවන් සමග ඵලදායී සබඳතාවක් ගොඩනඟ ගත හැකි බවද අවධාරණය කරනවා.”

“මට හිතෙනවා ඔබ දෙපාර්ශ්වයට දැවැන්ත හැකියාවන් සහ හුවමාරුකරගත හැකි බොහෝ දේ ඇති බව. දෙරටේම රජයන් කර්මාන්තවල වර්ධනය උදෙසා පහසුකම් සැපයීම සිදුකළ හැකි ඕනෑම ක්‍රියාවලියකට සූදානම් අතර, එය දෙරටේම දීප්තිමත් අනාගතයක් සඳහා ඉවහල් වෙයි.”