July 19, 2023

ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට තවදුරත් ඉඩසලසමින්, 2027 දෙසැම්බර් 31 දක්වා වත්මන් GSP+ යෝජනා ක්‍රමය වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇති බව වාර්තා වේ.

නව GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සම නීති සම්පාදකයින් අතර පවතින සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කාලය දීර්ඝ කර ඇති බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත පිරිස පවසයි.

තීරුබදු පහසුකම දීර්ඝ කිරීම තුළින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් යටතේ එම බැඳීම් ඇතිව යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවට අඛණ්ඩව ප්‍රවේශය ලබා දෙන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස වැඩිදුරටත් සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවෙකු ලෙස, 2022 දී පමණක් යුරෝ බිලියන 3.2 කට ආසන්න වටිනාකමකින් යුත් ශ්‍රී ලංකා අපනයන යුරෝපා සංගමය වෙත ලැබී ඇත.” යැයි ට්විටර් පණිවිඩයක් තබමින් යුරෝපා සංගම් නියෝජිතයෝ පවසා ඇත.

2024 – 2033 සඳහා සම්මත කිරීමට නියමිත යුරෝපා සංගම් GSP රෙගුලාසිය, 2024 ජනවාරි 01 සිට ඉදිරි වසර 10 සඳහා බලපැවැත්වේ.