December 23, 2024

නවසීලන්ත XI කණ්ඩායමට එරෙහිව පැවතිපුහුණු තරග දෙකකින් ජයග්‍රහණ වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නවසීලන්ත සංචාරය විචිත්‍රවත් ලෙස ආරම්භ කළේය.

දෙසැම්බර් 23 වැනිදා බර්ට් සට්ක්ලිෆ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 සහ විස්සයි10 තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙලෙස ජයග්‍රහණ තහවුරු කළහ.

පළමුව පැවැති T20 තරගයේදී නවසීලන්ත XI කණ්ඩායම ලබාගත් මුළු ලකුණු 94 පහසුවෙන් හඹායෑමට ශ්‍රී ලංකාව සමත් විය.

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ මතීෂ පතිරණ පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සත්කාරක නවසිලන්ත ක්‍රීඩකයන් ඕවර 13.4කදී ලකුණු 94කට සීමාකළහ.

ඊට ප්‍රතිචාර වශයෙන් කුසල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස්ගේ ආරම්භයෙන් යුත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් හඹායෑයාම සැහැල්ලුවෙන් සිදුකළහ.

කමිඳු මෙන්ඩිස් පන්දු 23කදී ලකුණු 32ක් ලබා සිටියදී දැවී ගිය අතර, කුසල් පෙරේරා පන්දු 22කදී ලකුණු 30ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව පන්දු 9ක් ඉතිරිව තිබියදී එම හඹායෑම සම්පූර්ණ කළේය.

අනතුරුව පැවැති T10 තරගයද නවසීලන්ත XI කණ්ඩායමට එරෙහිව ලකුණු 32කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 128ක ප්‍රබල මුළු ලකුණු සංඛ්‍යාවක් රැස්කළේය.

එහිදී පැතුම් නිශ්ශංක පන්දු 15කදී ලකුණු 31ක් ලබාගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය.

භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ලකුණු 25ක් සහ 27ක් බැගින් ලබාගෙන ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

නවසීලන්ත XI ඔවුන්ගේ උපරිම උත්සාහය දැරූ නමුත් ඔවුන්ගේ පන්දුවාර 10 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 96ක් පමණක් ලබා ගැනීමට හැකිවිය.

නුවන් තුෂාර කඩුලු 2ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු 32ක ජයග්‍රහණය තහවුරු කළේය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු T20 තරගය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

42.31%
17.27%
32.76%