February 8, 2025

වෘත්තීයභාවය, කුසලතා සහ රාජ්‍යතාන්ත්‍රික විශේෂඥතාව පිළිබඳ ස්ථාපිත සම්මතයන් නොසළකා හැර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා මෑතකදී කරන ලද දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය (SLFSA) දැඩි කනස්සල්ල පළකර ඇත.

ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය මෙසේ පවසයි.

“ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තම වෘත්තීය ජීවිතය කැපකළ පළපුරුදු, ඉහළ සුදුසුකම් ලත් සහ වෘත්තීය විදේශ සේවා නිලධාරීන් නොසළකා හැර ඇති මෙම පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කලකිරීම ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහ එහි අන්තර්ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට විශේෂයෙන් පුහුණු කරන ලද විශේෂිත සේවක පිරිසකි. දේශපාලන පත්වීම්ලාභීන් පත්කර වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයන් මඟහැරීම ආයතනික අඛණ්ඩතාව දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය අවදානමට ලක්කරයි.”

“ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පිරිසිදු වාර්තාවක් සහිත වෘත්තීය වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින් පත්කිරීම සහ ඉහළම ප්‍රමිතීන්ගෙන් යුත් සදාචාරාත්මක හැසිරීම හා රාජ්‍යතාන්ත්‍රික අභිමතය පරිදි, කුසලතා පදනම මත විදේශ සේවය සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් පත්කිරීම” යන පොරොන්දුව මත ශ්‍රී ලංකා ආණ්ඩුවේ 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සෘජුවම පටහැනි බැවින් මෙම තීරණය විශේෂයෙන් භයානක බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය තවදුරටත් සඳහන් කරයි.

විදේශ සේවය දේශපාලනීකරණයෙන් ඉවත් කර කුසලතා මත පත්වීම් සිදුකිරීම සඳහා වහාම නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතු බව එම සංගමය අවධාරණය කරයි.

මෙම තත්වයන් නොතකා, දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත පත්වීම් දිගටම කරගෙන යෑම ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සේවයේ අඛණ්ඩතාව අඩපණ කරන අතර, දැඩි පුහුණුවක් ලබා ඇති සහ පුළුල් අන්තර්ජාතික අත්දැකීම් ඇති වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පහත් කරන බව එම ජනමාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

සියලුම ආණ්ඩු විසින් දේශපාලන අනුග්‍රහයන් ලෙස තානාපති සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු ප්‍රදානය කිරීමේ දිගුකාලීන හා කණගාටුදායක පූර්වාදර්ශයක් තිබේ.

දේශපාලන සම්බන්ධතාවලට වඩා ශ්‍රී ලංකාවේ යහපතට සේවය කරන ශක්තිමත්, වඩා ස්වාධීන විදේශ සේවාවක් සඳහා ඉඩ සලසමින් මෙම පුරුද්ද අවසන් වනු ඇතැයි සංගමය බලාපොරොත්තු වේ.

මෙම ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සංගමය නැවත නැවතත් ඉල්ලා ඇති නමුත්, එම අවස්ථාව තවමත් ලබා දී නොමැති බවත් සංගමය වැඩිදුරටත් පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%