June 4, 2024

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සහ දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ T 20 ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන් සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ආරම්භක තරගයේදී අඩු ලකුණු ප්‍රමාණයක දී කඩුලු 6 ක පරාජයක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ඔවුන්ගේ මාධ්‍ය හමුවද ඉක්මනින් අවසන් කිරීමට සිදු විය.

ESPNcricinfoට අනුව, සිකුරාදා බංග්ලාදේශයට එරෙහි ඔවුන්ගේ මීළඟ තරඟය සඳහා ඩලාස් වෙත යෑම වෙනුවෙන් සවස 6ට ගුවන් තොටුපළ වෙත පැමිණීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු බෘක්ලින්හි පිහිටි ඔවුන්ගේ හෝටලයට ගොස් සියල්ල ඇසුරුම් කරගෙන ගුවන් තොටුපළට ළඟා වීමට සිදුව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට පෙරත් ශ්‍රී ලංකාවට පුහුණුවීම් කිරීමට නොහැකි වී තිබිණි.

නිව්යෝර්ක් වෙත පැමිණීම සඳහා ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් පැය හතක් මයාමි ගුවන් තොටුපළේ රඳවාගෙන සිට තිබේ.

තරගයෙන් පසු, තීක්ෂණ ඔවුන්ගේ කාලසටහන්ගත කිරීම පිළිබඳ අතෘප්තිය ප්‍රකාශ කර ඇති අතර, ESPNcricinfo උපුටා දක්වන පරිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ “හරිම අසාධාරණයි, අපි තැන් හතරක තියෙන ක්‍රීඩාංගණ හතරක ක්‍රීඩා කරන නිසා හැම තරගයක් ඉඅවර වුනු දවසෙම අපට පිටත්ව යන්න වෙලා. ඒක අසාධාරණයි. අපිට ෆ්ලොරිඩාවේ ඉඳන් එන්න මයාමි ගුවන් තොටුපළේ පැය අටක් බලාගෙන ඉන්න වුණා, අපි රෑ 8ට පිටත් වීමට නියමිතව තිබුණත් ගුවන් යානය පිටත් වෙද්දී උදේ පහයි. මේක හරිම අසාධාරණයි. ඒ වුණත් අපි ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරද්දී ඒවා වැදගත් නැහැ,” යනුවෙනි.

කණ්ඩායම් 20 අතුරින් ශ්‍රී ලංකාව සිය පළමු වටයේ තරග විවිධ ස්ථාන හතරකදී ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකෙන් එකකි.

විවිධ ස්ථාන හතරකදී ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම නෙදර්ලන්තයයි.

සංචාරක තෙහෙට්ටුව හේතුවෙන් ඔවුන්ගේ පුහුණු සැසිය අවලංගු කිරීමට සිදුවූ බවත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා නසාවු ප්‍රාන්ත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණීමට උදෑසන 5ට අවදි වීමට සිදුවූ බවත් තීක්ෂණ පවසා තිබේ.

“මොකද හොටෙල් එකෙන් ග්‍රවුන්ඩ් එකට එන්න පැය එකයි විනාඩි 40ක් යනවා. අදත් [තරග දවස] අපිට මෙහාට එන්න පාන්දර 5ට විතර ඇහැරෙන්න වූණා. මට අනිත් කණ්ඩායම්වල නම් කියන්න බෑ. ඒ කණ්ඩායම් එකම ස්ථානයේ ක්‍රීඩා කරන්නේ, එකම ස්ථානයේ පුහුණුවීම් ක්‍රීඩා කරන්නේ, ඒ නිසා පිටිය ගැන ඔවුන්ට අවබෝධයක් තියෙනවා. මේ අවුරුද්දේ මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා මම දන්නවා, අපි සෙල්ලම් කරන නිසා අපේ කළමනාකාරීත්වය හදන්නේ හැම දෙයක්ම වෙලාවට කරවලා දෙන්න,” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර ඇත.

තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී, දකුණු අප්‍රිකාවට එරෙහි ඔවුන්ගේ දක්‍ෂතාවලට ප්‍රවාහන ගැටලු බලපෑවේද යන්න පිළිබඳ හසරංග සිය අදහස ඉදිරිපත් කර තිබුණේ මෙසේයි.

“අපිට ඒක කියන්න බෑ. පහුගිය දවස් ටිකේ අපිට අමාරු කාලයක් තිබුණා. තරග හතරම ක්‍රීඩාංගණ හතරක. ඒක අමාරුයි. අපි ග්‍රවුන්ඩ් එකේ තත්ත්වය ගැන කිසිවක් දැනගෙන හිටියේ නැහැ. මේක නිව් යෝර්ක්වල අපේ පළමු තරගය. මීළඟ තරගය ඩලස්වල, අපි එහෙ තත්ත්වේ කොහොමද කියලත් දන්නේ නැහැ. අපි තරඟ දෙකක් ක්‍රීඩා කළ ෆ්ලොරිඩාවේ. ඒ ගැන විතරයි අපි තරමක් දන්නේ”

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 77කට දැවී ගිය පසු, ශ්‍රී ලංකාව ඔවුන්ගේ මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණය කර සුපර් සික්ස් අදියර සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු වේ.