November 21, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා පසුගිය 5 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඊයේ (20) දක්වා කටයුතු නොකරන බවට ලබා දී ඇති එකඟතාව අනුව හෙට (22) දක්වා තවදුරටත් කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ඊයේ (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ක්‍රීඩා ඇමැතිවරයාගේ එකී ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම ලබන 22 වැනිදා දක්වා කල්තැබීමට, සෝභිත රාජකරුණා සහ ඩී. එම්. සමරකෝන් යන විනිසුරුවෝ නියෝග කළහ.

මේ අතර රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක් මගින් ක්‍රිකට් ආයතනයේ පවතින මූල්‍ය අක්‍රමිකතා හා විනිවිදභාවය බිඳ වැටීම ආදී කරුණු අනාවරණය වී තිබෙන බවත්, එවැනි පසුබිමක ක්‍රීඩා ඇමැතිවරයාට පැවරී ඇති බලතල අනුව සහ ක්‍රීඩා පනතට අනුකූලව ඔහු අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත්, ක්‍රීඩා ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක උසාවිය හමුවේ පැවසීය.

මෙහිදී ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

“ක්‍රිකට් අතුරු පාලන කමිටුවේ සාමාජිකයන්ගේ ලිපිනය වශයෙන් පෙත්සම්කරු ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිනයයි. අතුරු පාලන කමිටුවේ සාමාජිකයන් ක්‍රිකට් ආයතනයේ සිටින අය නොවන අතර මෙය පෙත්සම්කරු හිතාමතාම සිදුකළ වැරදි ක්‍රියාවක්. වගඋත්තරකරුවන් නොමඟ යවමින් පෙත්සම්කරු මෙම නියෝගය ලබාගෙන ඇත්තේ පවතින නියමයන් ද වසන් කරමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය වෙත සිදුකළ බලපෑම දැක්වෙන වැදගත් 03ක් ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රසිද්ධියට පත්කර ඇති අතර එම ලිපි පිළිබඳව ද පෙත්සම්කරු සිය නඩුකරය තුළ කරුණු වසන් කර ඇති බව පැහැදිලි වෙනවා.”

සිය සේවාදායකයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ විෂමාචාරය, අක්‍රමිකතාව හෝ දූෂණය කුමක් දැයි නිශ්චිතව පෙන්වා නොදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා ඇති බැවින් එකී ගැසට් නිවේදනය නීති විරෝධී, නීතිය හමුවේ බල රහිත එකක් වන්නේ යැයි ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට පැවසීය.

නිශ්චිත කාලසීමාවක් හෝ නොදන්වා එකී ලියාපදිංචිය අත්හිටුවා ඇති බවත්, යළි මැතිවරණයක් පවත්වා නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා තෙක් එහි පාලනය අන්තර් කමිටුවක් වෙත පැවරීම මෙන්ම, සිදු වූයේ යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සුදුසු විමර්ශන පැවැත්වීමත් එම අන්තර් පාලක මණ්ඩලයට පැවරීමත් නීති විරෝධී වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට පැවසීය.

ක්‍රීඩා ඇමැතිවරයා කළ යුතුව තිබුණේ යම්කිසි වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව විමර්ශන පවත්වා ඒ අනුව කටයුතු කිරීම මිස විමර්ශනය කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවීම නොවන බව ද හෙතෙම අධිකරණයට වැඩිදුරටත් පෙන්වාදුන්නේය.(දිවයින)

42.31%
17.27%
32.76%