March 21, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව තමන් එල්ල කරන චෝදනා තවදුරටත් තහවුරු කරමින් සහ එහි විධායක කමිටු රැස්වීමේ ගනු ලැබූ තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියාසිටියේ වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ගෙවීම් අනුමත කර ඇති බවයි.

අනාවරණය කෙරුණු එම තීරණවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් එවකට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක තනතුරට පත්කර ඇති බවයි.

දේශබන්දුගේ කොන්ත්‍රාත්තුව 2021 අගෝස්තු 16 සිට ක්‍රියාත්මක වී ඇති බවත් මාසික දීමනාව රු. 150,000 ක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

එමෙන්ම ඔහු පාර්ලිමේන්තුව හමුවේ පෙන්වාදුන්නේ, මසකට ඉන්ධන ලීටර් 200, රුපියල් 5,000 ක ජංගම දුරකතන දීමනාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක් සහ වෛද්‍ය රක්ෂණයක් ද ඔහුට හිමිව ඇති බවයි.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර වශයෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් එම ලේඛනය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

දේශබන්දු තෙන්නකෝන්ට මුදල් ගෙවා හෝ වරප්‍රසාද ලබාදුන් බවට එල්ල වන චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය ලෙස හඳුන්වමින් ක්‍රිකට් ආයතනය මීට පෙර එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා රජය විවේචනය කරමින් කියාසිටියේ චෝදනා එල්ල වූ කණ්ඩායම මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමේ කිසිදු අදහසක් රජයට නොමැති බවයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිටින දූෂිත කණ්ඩායමකට සහාය පළකරන බවට චෝදනා කළ ඔහු, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම ප්‍රතික්ෂේප කිරීම අදාළ නැහැ. විධායක කමිටුව විසින් අනුමත කරන ලද වාර්තාවේ පිටපතක් අප සතුව තියෙනවා.” ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පෙර ප්‍රකාශයේ, අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිවලදී ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ කැපවීමේ කොටසක් ලෙස ආරක්ෂක නිලධාරීන් සමඟ පමණක් කටයුතු කරන බවත් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ ගෙවීම් හෝ පත්වීම් ප්‍රතික්ෂේප කරන බවත් පවසා තිබේ.