October 17, 2023

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තුන්වන පරාජයත් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.

ඒ ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 05ක පරාජයක් ලැබීමත් සමගිනි.

ලක්නව් හි ඊයේ පැවැති  තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 43යි පන්දු 03කදී ලකුණු 209 කට සීමාවිය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයවූ පැතුම් නිශ්ශංක සහ කුසල් පෙරේරා ලකුණු 125ක සම්බන්ධතාවක් පළමු කඩුල්ලට පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට සමත් වූහ.

එහිදී, කුසල් පෙරේරා පන්දු 82 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 78ක් සහ පැතුම් නිශ්ශංක පන්දු 67කදී හතරේ පහර 08ක් සමගින් ලකුණු 61ක් ලබාගත්හ.

ඔවුන් දෙදෙනා දැවි යන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26 පන්දු 02ක් අවසානයේ කඩුලු 02කට ලකුණු 157ක් විය.

කෙසේවෙතත්, ආරම්භක පිතිකරුවන් ලබාදුන් ලකුණු ලබාගැනීමේ වේගය සෙසු පිතිකරුවන් රැකගැනීමට  අපොහොසත් වීමෙන් එහි වාසිය ලබාගත් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 209ක⁣ට සීමාකිරීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා පිළේ කඩුලු 08ක් ලකුණු 52ක් තුළ දැවීගියේය.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 09කටත්,සදීර සමරවික්‍රම ලකුණු 08කටත්, ධනංජය ද සිල්වා ලකුණු 07කටත්, දසුන් ශානක වෙනුවට කණ්ඩායමට කැඳවූ චාමික කරුණාරත්න සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 02කටත් දැවීගියේ වගකිමකින් තොරව ක්‍රීඩා කිරීම හේතුවෙනි.

පන්දු යැවිමේදී මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු 02 බැගින් මෙන්ම, ඇඩම් සම්පා කඩුලු 04ක් බිඳහෙළන ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිළේ පළමු කඩුලු 02 ඩිල්ශාන් මධුශංක 04වන පන්දුවාරයේදී දවාගත්තේ නිලකුණු පන්දුවාරයක්ද යොමුකරමිනි.

කෙසේවෙතත්,මිචෙල් මාෂ් ලකුණු 52ක් සහ ජෝෂ් ඉංගිල්ස් ලකුණු 58ක් ලබාගත් අතර, මානස් ලැබුෂේන් ලකුණු 40ක් රැස් කළේය.

ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 21කදි ලකුණු 31ක් රැස්කළේය.

ඒ අනුව,පන්දුවාර 35යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් දැවී ඕස්ට්‍රේලියාව ලකුණු 215ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.