March 4, 2025

ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ විශ්වසනීය හා ස්වාධීන දේශීය ක්‍රියාවලීන් හරහා මානව හිමිකම් අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අවධාරණය කළාය.

“පෙර සැසිවාරවලදී නැවත තහවුරු කළ පරිදි, දේශීය ක්‍රියාවලීන් හරහා සංහිඳියාව ඇතුළු මානව හිමිකම් අභියෝගවලට මුහුණදීමට ශ්‍රී ලංකා රජය අධිෂ්ඨාන කරගෙන සිටී. ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් මෙවලම් සමඟ සහයෝගීතාවයෙන් සහ ඵලදායී සංවාදයකින් යුතුව එහි ඵලදායී සම්බන්ධතාවය දිගටම කරගෙන පවත්වාගෙනයනු ඇත.” ඇය තවදුරටත් පැවසුවාය.

අතීත ගැටළු විසඳීම සහ යෝජිත සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු පුළුල් කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජයේ කැපවීම ඇය ඉස්මතු කළාය.

සියලුම පුරවැසියන්ට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, රජය සියලුදෙනා ඇතුළත් ආර්ථික වර්ධනයට ප්‍රමුඛත්වය දී ඇති බව ඇය සඳහන් කළාය. ‘ක්ලීන් ශ්‍රී ලංකාව’ මුලපිරීම හරහා ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සඳහා රජය කැපවී සින බවද ඇය පෙන්වදුන්නාය.

46/1, 51/1 සහ 57/1 යෝජනා ඇතුළුව අදාළ රටේ එකඟතාවයක් නොමැති රටට විශේෂිත යෝජනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව හිමාලි අරුණතිලක නැවත අවධාරණය කළාය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ බාහිර සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය, කවුන්සිලයේ වරමෙහි පෙර නොවූ ව්‍යාප්තියක් ලෙසත්, එහි ආරම්භක මූලධර්මවලට පටහැනි බවත් ඇය විවේචනය කළාය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, මානව හිමිකම් කවුන්සිලය සහ අනෙකුත් මානව හිමිකම් මෙවලම් සමඟ බහුපාර්ශ්වික සහයෝගීතාවයට සහ ඵලදායී සම්බන්ධතාවයකට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ඇය පැවසුවාය.