July 16, 2023

ස්විට්සර්ලන්තය පදනම් කරගත් සමාගමක් විසින් උච්චිමුනේ දූපතේ පරිසර හිතකාමී නිවාඩු නිකේතනයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 417ක් යොදවා ඇතැයි පැවසුණු සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය(FDI ) අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සඳහන් කරයි.

මේ අතර, SLTDA විසින් එම දූපත සංවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන අනාගත ආයෝජකයන්ගේ ආයෝජන යෝජනා දෙකක් පිළිබඳව මේ වන විට ඇගයීමට ලක් කර ඇත.

ස්විට්සර්ලන්තය පදනම් කරගත් සමාගම නියමිත කාලය තුළ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අසමත් වූ නිසා ව්‍යාප්තිය අවලංගු වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඔවුන් ලබා දී ඇති කාල රාමුව තුළ ව්‍යාපෘතිය ආරම්භ කර තැන්පතු ගෙවීම සිදු නොකරන්නේ නම්, එය අවලංගු කර වෙනත් ආයෝජකයන්ට විවෘත කිරීමට තමන්ට අයිතියක් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

උච්චිමුනේ දූපතේ සංවර්ධනයට අදාළව ආයෝජන යෝජනා දෙකක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබී ඇති බවත්, ඒවා මේ වනවිට අධිකාරිය විසින් සමාලෝචනය කරමින් පවතින බවත් පැවැසේ.

උච්චමුනේ දූපතේ විශාලත්වය අක්කර 1000කට වැඩි නිසා එහි තවත් ව්‍යාපෘති එකකට හෝ දෙකකට පහසුවෙන් ඉඩ සැලසිය හැකි බවද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වාදෙයි.