October 9, 2023

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සහ ඊට අදාළව සිදුවන විවිධ බලපෑම් පිළිබදව එහි උත්තරීතර මණ්ඩලය නියෝජනය කළ රත්තනදෙනියේ මේධානන්ද හිමියන් විසින් චෝදනා රැසක් එල්ල කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රත්තනදෙනියේ මේධානන්ද හිමියන් මේ සම්බන්ධයෙන් පළ කර තිබූ අදහස් පහතින් පළවේ.

‘‘මෙවර ස්වර්ණ පුස්තක උත්තරීතර විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය සභාවට නිවේදනය කිරීමට ලබාදුන් පසු නිවේදක වජිර ජයවර්ධන මහතා එය කෘති 05 ත් සමග මුහුණු පොතට එක් කිරීමෙන් පසු සංවාදාත්මක තත්ත්වයක් උද්ගත විය. එහිදී පියසේන කහඳගමගේ ජනවහර අධ්‍යන කෘතිවල කරුණු අමු අමුවේ හොරකම් කොට පොත් හා නිබන්ධන ගසා ටියුෂන් වෙළදාම සාරවත් කරගත් ශාස්ත්‍රීය චෞරයෙක් මෙන්ම පොත් ප්‍රකාශක සංගමයෙන් ද නෙරපා දැමු සේරිවාණිජ වෙළෙන්දාගේ ඇරියස් කවර් කිරීම් දැනට නොතකා හැර “සම්මාන ගිජුමංකඩ” නටන නාඩගමට ප්‍රතිචාරයක් දැක්වීම මැනවැයි හැගේ.

උපාලි වනිගසුරිය මහතා පොත් ප්‍රකාශක සංගමයේ සභාපතිව සිටි අවධියේ ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයට එක්වීමට කළ ආරාධනය වසර 2ක් ම ප්‍රතික්ෂේප කොට ඇත්තෙමි. මට කළ ආරාධනය ගැන එතුමාට සහ පොත් ප්‍රකාශන සංගමයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් නැවත තෙවන වරටත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර භාර ගත්තෙමි. සම්මාන ගිජුමංකඩ ද මෙය නොදන්නා කරුණක් නොවේ. ප්‍රතික්ෂේප කැරුණු එක් අවස්තාවක සම්මාන ගිජුමංකඩ මා හමුවූ විටෙක පැවසුවේ.

” මමයි විනිශ්චය මණ්ඩලයට හාමුදුරුවන්ගේ නම යෝජනා කළේ. මොකද බෑ කිව්වේ.. හාමුදුරුවෝ වගේ අය තමයි ඉන්න ඕන මේකේ ” යනුවෙනි.
මෙහි වීඩියෝ සාක්ෂි නැති බැවින් ගිජුමංකඩට දැන් එය බොරුවක් යැයි කීමට හැකි වෙතත් මෙය කීවේ ඔහුගේ පොත් කුටිය ඉදිරිපිට පොත් ප්‍රදර්ශන භූමියේ දී බව අප දෙදෙනාගේම හෘදය සාක්ෂිය දනී. එවර සමන් වික්‍රමාරච්චිගේ “අප්පච්චී ඇවිත්” කෘතියට සම්මානය ලැබුණු පසු ඊට වඩා තමා පළ කළ “වරණ” හොඳ යැයි මා සමග දීර්ඝ කයිවාරුවක් ද ගැසුවේ මෙදිනයි. මේ 2018 සැප්තැම්බර් මස දවසකයි. එතැන් පටන් නොමිලේ පොත් ද, ජනවාරි 01 දා ඇදෙන් නැගිටින කොට දොර ළගට එන අලංකාර සුබ පැතුම් පත ද ඔහුගෙන් නොවරදවා ලැබුණි. වෙනත් ප්‍රකාශකයන් කිසිදාක අනුගමනය නොකරන මිනිසුන් මානසිකව බිලි බා ගන්නා ක්‍රම හොඳින්ම ප්‍රගුණ කර ඇති ගිජුමංකඩට මාව එසේ මානසික එන්නත්වලින් බා ගත නොහැකි බව තේරුම් ගියේ සම්මාන උන්මාදයෙන් මුහුණු පොතේ බඩ පිණුම් ගසමින් සිටියදී ඔහුගේ හෙළුව පෙන්වූ අවස්තාවකයි.

සිද්දිය කෙටියෙන් මෙසේයි.

දෙරණ නාලිකාව 2020 වර්ෂයේ කාන්තා දිනය නිමිත්තෙන් විවිධ ක්ෂේත්‍රවලට කාන්තාවන් දැක්වූ ප්‍රාමාණික දායකත්වය උදෙසා සම්මාන ප්‍රදානයක් පැවැත්විණි. එහි ස්වභාවය දෙරණට අයදුම්පතක් යොමු කර සම්මානයට ඉල්ලුම් කිරීමයි. සම්මාන ලැබුනේ නුවර වැසි ලේඛිකාවකටයි. දක්ෂ ලේඛිකාවක් වූ ඇයට සම්මාන ලැබීම ගැන අපට ඇති ආරෝවක් නැත. ඇය එහි සතුට පවුලේ ඥාතීන්, හිත මිතුරන් හා මුහුණු පොතේ මිතුරන් සමග බෙදා ගැනීමේ වරදක්ද නැත. ඇගේ පළමු නවකතාවට හා කෙටිකතා සංග්‍රහයට සම්මාන හිමිවූ අවස්ථාවේ අපිදු ඒ ගැන මුහුණු පොතේ ලියා අගය කර ඇත්තෙමු. නමුත් ඇගේ නව ප්‍රකාශකයා වූ ගිජුමංකඩ (අන් වෙලාවට නම් නයි දෙරණ කියා අහක බැලේ) දෙරණින් ලැබූ මේ සම්මානය ගැන සිංහල සාහිත්‍යට දැක්වූ දායකත්වය හෝ විශිෂ්ට මෙහෙවර වැනි වාගාඩම්බර ලියමින් මුහුණු පොතේ බඩ පිණුම් ගසන්නට පටන් ගත්තේය.

ගිජුමංකඩගේ මේ ව්‍යාජ උඩ දැමීම් ගැනත්, ඒ යට ඔහු ලේඛක ලේඛිකාවන්ට දෙන මානසික එන්නත ගැනත් අප දන්නා නිසා සහ එවැනි විකට ජවනිකා දුටුවිට කට කහන ගතිය වළක්වා ගැනීමට නොහැකි නිසාත්, ඔහුගේ පොස්ටුවේ ඇති ජෝක් ස්වභාවය පෙන්නුම් කරන කමෙන්ට් එකක් දැමීමි. ඇත්තටම එය විහිලුවට උත්ප්‍රාසය මතු කිරීමට දැක් වූ ප්‍රතිචාරයක් මිස ඉන් ඔහු ගැරඩියෙකුට භූමිතෙල් ගැලුමක් හැලුණ ආකාරයට කුලප්පු වෙන බවක් කිසිවිටක නොසිතුවෙමි. එහෙත් සිදු වූයේ ද එයයි. තමාගේ මිතුරු ලැයිස්තුවේ සිටිය යුත්තේ “පිටකසන්නන් පමණක් බව” පසක් කරමින් ක්ෂණිකව මැසෙන්ජර් හරහා බැණවැදී මා මුහුණු පොතෙන් ද ඉවත් කොට යට කී වාගාඩම්බර සහිත පොස්ටුව ද ඔහු විසින් මකා දමනු ලැබීය.

මම ගිජුමංකඩගෙන් විමසුවේ මේ සම්මානය සිංහල සාහිත්‍යට දැක්වූ දායකත්වය හෝ මෙහෙවර උදෙසා නම් (Sumithra Rahubaddhe ) සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක වැනි පොත් විසි තිස් ගණන් හෝ දහයක් පහළොවක් ලියූ ලේඛිකාවන්ට දියයුතු සම්මානය කුමක් ද යන්නයි. මන්ද ඒ මේ වනවිට ඉහත කී ලේඛිකාව පළ කර තිබුණේ එක් නවකතාවකුත් කෙටිකතා සංග්‍රහයකුත් වශයෙන් පොත් 2 ක් පමණි. ඒ දෙකම ගොඩගේ ප්‍රකාශන වූ අතර ගිජුමංකඩ ළගට ආ පසු පළ කළ කෘතියත් සමග දැනට පොත් 03 කි. එහෙත් නවකතා හතරකුත්, පරිවර්තන කෘති හත අටක් පළ කර ඇතත් මෙයට ඉල්ලුම් කරන්නැයි කියද්දීත් අයදුම් නොකළ ලේඛිකාවන්ද මා දැනුවත්ව සිටී.

එවන් පසුබිමක මගේ ප්‍රශ්නයේ විශාල වැරද්දක් ඇතැයි මම අදටත් නොසිතමි. එහෙත් ගිජුමංකඩගේ වාතයාරක්තය ඒ තරමට ම කුපිත වන්නට ඇත්තේ මේ (නයි)දෙරණ සම්මානයට පවා අයදුම් කරන්නැයි එම ලේඛිකාව පොලඹවන්නට ඇත්තේ ඔහු වන නිසාය. මන්ද අන් කිසිදු පොත් ප්‍රකාශකයකුට වඩා “සාහිත්‍ය නග්නභාවය හා සම්මාන ගිජුකම” ඉතා කැත විදියට ප්‍රදර්ශනය කරමින් ඉන්නේ මොහු වෙන නිසාය. සමහරු වෙනත් ප්‍රකාශකයන් අතහැර ඔහු ළගට යන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව වෙනත් ප්‍රකාශකයින් නොකරන පොත් උඩ දැමීමේ සිට සම්මාන වටවලට තල්ලු කරදෙන මෙහෙයුමේ කොටසකුත් මොහු පවරාගෙන සිටින නිසාය. බොහෝ අයට ඇත්තේ අවසන් “දොළහට, පහට, ආවත් තමන් ගොඩ” යන අදහසයි.

2016 දී සරසවි ප්‍රකාශනයක් වූ සමන් වික්‍රමාරච්චිගේ ‘අසන්ධිමිත්තා’ සහ සුරස ප්‍රකාශනයක් වූ කපිල කුමාර කාලිංගගේ ” සැප්තැම්බරයේ දිග දවසක්” යන නවකතා දෙක අවසන් 12 ට තේරුණ පසු කිසිවෙක් නොදැන සිටි කරුණක් වන එම නවකතාවල කොටස් දෙක තුනක් පුවත් පතක පළ වූ බවට ගතු කියා තරගකරුවන් දෙදෙනෙක් ඉවත් ක‍ර ගත්තේ ද තමන්ගේ පොත උඩට තල්ලුකර ගැනීමේ යටි අරමුණෙනි. මධ්‍ය මණ්ඩලයෙන් එම අපේක්ෂාව භංග වුවද එය කලින්ම හෙළිදරව් නොකොට පොත් දොළහ තෝරාගත් පසුව කිසියම් අදෘශ්‍යමාන පාඨකයෙකු දුරකථනයෙන් ඔහුට දැනුම් දුන්නේ යැයි පවසා ඉහත පොත් දෙක සුක්ෂමව ඉවත් කළේ සාහිත්‍යයේ කතුවරයා මිය ගියද මේ ගිජුමංකඩ ප්‍රකාශකයා නම් නිතරම අවධියෙන් සිටින බව පෙන්වමිනි.

දැන් ඔහු පොත් ප්‍රකාශක සංගමයේ අයටත්, විනිශ්චය මණ්ඩලයේ අයටත් තම දායක සභාව උසිගන්වමින් හා බියර් පොවා ඇති දැඩි කළ බේබද්දන් ලවා ප්‍රහාර සැලසුම් කිරීමේ ඇත්ත හේතුවත් ලබන වසරේ (2024) ස්වර්ණ පුස්තක සම්මානයට දැනටමත් ඇදුම් මසාගෙන සිටින නිසාය. ඒ සඳහා ඔහුට උවමනා වී ඇත්තේ ”ම”යන්න අල්ලාගෙන තම ත්‍රාඩ කල්ලිය ලවා මඩ අවලාද සමග විවේචන කුළුගන්වා මේ විනිශ්චය මණ්ඩලවල ඉන්න ඉලක්කගත කීපදෙනෙක් ඉවත්කොට ඒ හිඩැස් තමන්ට උවමනා මිනිසුන්ගෙන් පුරවා ගැනීමට ය. ඔහු පොත් ප්‍රකාශන සංගමයේ විධායක කමිටුවේ සිටි අවධියේ පාදක, මධ්‍යම, උත්තරීතර, වශයෙන් ඇති විනිශ්චය මණ්ඩල සාමාජිකයින්ගෙන් 15 දෙනෙක් විතර තමන්ට උවමනා මිනිසුන්ගෙන් පුරවා ගත් අශිෂ්ට ඉතිහාසයකුත් ඔහුට තිබේ. දැනට වුවද ඔහු ඇතිකළ නරක පුර්වාදර්ශවලින් මුළුමනින්ම සාහිත්‍ය ක්ෂේත්‍රය වියුක්ත නැති අතර වෙනත් සම්මාන කමිටුවලද මොහුගේ හොල්මං සිටීම සාමාන්‍ය දෙයකි. සාහිත්‍ය ක්ෂේත්‍රය ඉතා කුඩා ක්ෂේත්‍රයක් බැවින් බූවල්ලකු සේ සෑම අතටම අඩුබඩු විදා ඇති මේ ප්‍රකාශකයා පුවත්පත් පිටු සංස්කාරකවරු පවා තමන්ගේ තාලම්පොටට නැටවෙන රූකඩ බවට පත් කරගෙන සිටී. ඒ ඔහුගේ කෘති උඩදමා ගැනීම සඳහා ය. ඒ සඳහා මොහුට නයි දෙරණ කියා හෝ ජාතිවාදී යැයි ඔහුම හංවඩු ගසන පත්තර කියා ප්‍රශ්නයක් නැත. අන් කිසිදු පොත් ප්‍රකාශකයෙක් මොහු තරම් නින්දිත මට්ටමෙන් ප්‍රොපගැන්ඩා දියත් නොකරන බව පවසන්නේ ඔවුන්ට ගෞරවයක් පිණිසය.

දැන් ඔහු තැන තැන කරන විවේචනවලින් නොනැවතී ඔහුගේ අනෙක් පොතත් අවසන් 05 ට නොගත්තේ යැයි මධ්‍යම මණ්ඩලයේ ඇතැමුන්ට තර්ජන කරන බවක් ද ආරංචි විය. “ඔයාලට කට්ටිය ගහන්න ඉන්නේ… මොකද ගිරිජා නොගන්න හේතුව .. මොනාද නිර්ණායක” ආදිය විමසමින් තග දමා ඇත්තේ පොත් ප්‍රදර්ශන භුමියේ දී යි. ඔහු දැන් වෙඩි කෑ ඌරකු මෙන් පැසවමින් හැසිරෙන්නේ ඇයි ද යන්නට අතීත හේතු ද තිබේ. 2021 දී ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි ඔහුගේ ප්‍රකාශන දෙකක් වූ ”කඳ අරණි සහ කෝමල මානවක” අවසන් පොත් 05 න් ගිලිහී ගියේ ය. ( 2022 සංසක්කාරි ද ගිලිහී ගියේය.) ඔහු ඒ කෝපය පිට කළේ විනිශ්චය මණ්ඩලය පොටෝ ගසා ෆේස්බුක් දමමින් දායක සභාව ලවා පහර ගැසීමට සැලැස්වීමෙනි. ඔහු එයින් පෙන්නුම් කළේ තමන්ගේ විදග්ධ නවකතා තේරුම් ගැනීමට විනිශ්චය මණ්ඩලයේ සිටින අය සුදුස්සෝ නොවෙන බවයි. ( මෙහෙමත් සම්මාන ගිජුකමක් ?)මොහුගේ මේ විගඩම් සහගත භූමිකාව එරික් ඉලයප්ආරච්චි සිය චයිනා ටවුම කෙටිකතා සංග‍්‍රහයේදී ‘පොත් බඳින්නා’ නමින් කෙටිකතාවක් ලියමින් සෝපහාසයට නංවා තිබේ. “ලේඛන මහත්තයා අපිට ලියල දෙන්නකෝ ලබන අවුරුද්දෙ බණ්ඩාරනායක සම්මානෙ දිනන පොතක්” (96 පිටුව) යනුවෙන් මුද්‍රණාලකරුවා කරන මෙම ප‍්‍රකාශය තුළ හුදු ඉල්ලීමක් පමණක් නොව පොරොන්දුවක් ද ගැබ්ව තිබේ. එම පොරොන්දුව නම් පොත ප‍්‍රකාශයට පත් කිරීමට තමාට දුන්නොත් එම පොතට බණ්ඩාරනායක සම්මානය හෙවත් ස්වර්ණ පුස්තක සම්මානය දිනාදීමට තමාට හැකියාවක් ඇතිබවයි. දැන් වසර කිහිපයක සිට එම හැකියාව ඒ ආකාරයෙන්ම ඔහුට ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ගිජුමංකඩගේ ඒකාධිකාරයෙන් මෙම සම්මාන උලෙළ අනෙක් ප්‍රකාශකයන් ගලවාගෙන ඇති නිසාය. ඔහු දැන් අතට හසුවන සෑම කැට කැබැල්ලකින් ම දමා ගසමින් කියන්නේ තමාගේ මිනිසුන්ගෙන් විනිශ්චය මණ්ඩල පුරවා ගැනීමේ සිට උත්සවය සංවිධානය කිරීමේ කටයුත්ත නැවත තමන්ට බාර දෙන ලෙසයි. සෙසු ප්‍රකාශකයන් එදිනට ටයි කෝට් දා පැමිණ වාඩිවී ඉඳ අවසානයේ සංග්‍රහ කටයුතු වැනි කුස්සියේ වැඩ බැලීම පමණක් ප්‍රමාණවත් බවයි. එය එසේ නොවී තවත් කාලයක් ගියහොත් මොහුට කුටියක් ලබාදීමට සිදු වන්නේ බණ්ඩාරනායක B හෝල් එකෙන් නොව අංගොඩ මානසික රෝහලෙන් බවට ලකුණු පෙනෙමින් තිබේ.
.
©️|රත්තනදෙණියේ මේධානන්ද හිමි|
2023•10•07

42.31%
17.27%
32.76%