November 18, 2024

සංචාරක නවසීලන්ත පිලට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී කල් ඇතිවම තරග 2-0කින් ජයග්‍රහණය කළහ.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල ඊයේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ සියලු ගෞරව දිනා ගත්තේය.

මේ ජයග්‍රහණයක් සමඟ මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලි 5ක් පිට පිට ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වීම සුවිශේෂී දක්ෂතාවකි. මෙයට පෙර මේ වසරේදී ප්‍රබල ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන රටවල් පරාජය කොට තරගාවලි ජයග්‍රහණ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට සමත් විය.

වසර 2012දී ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබූ අතර, වසර 12කට පසු නවසීලන්තය එක්දින තරගාවලියකදී පරාජය කරමින් වාර්තා පොත් අලුත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

ඊයේ පැවති තරගය ආරම්භ වීමෙන් පසු ඕවර 9න් 9යට දෙවරක් වර්ෂාව ඇදහැළීම හේතුවෙන් එක් ඉනිමක් ඕවර 47කට සීමා කිරීමට විනිසුරුවෝ තීරණය කළ අතර, නවසීලන්ත පිල ඕවර 45.1කදී සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිල පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබා ජයග්‍රහණය සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා පිළේ පළමු කඩුලු තුන ලකුණු 46දී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වුවද, එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සිටි අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් තම 32 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් අගනා ලකුණු 74ක් නොදැවී රැස් කළේය. ඔහු ඒ සඳහා පන්දු 102ක් වැය කළද එසේ ඉවසිලිවන්ත ඉනිමක් නොවන්නට ප්‍රතිඵලය වෙනස් වන්නට ඉඩ තිබිණි. නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී ලකුණු 143ක් ලැබූ කුසල් මෙන්ඩිස්ට මේ දක්ෂතා අනුව තරගාවලියේ වීරයා සම්මානය හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතී.

තරගයේ ජයග්‍රහණයට තල්ලුවක් දුන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් වාර්තා කළ අතර, ජනිත් ලියනගේ ලකුණු 22ක් හා දුනිත් ‍වෙල්ලාලගේ ලකුණු 18ක් ලබාගත්හ.

අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ එක්ව ලකුණු 36ක් තුළ දී කඩුලු 6ක් බිඳහෙළා නවසීලන්ත මැද පෙළ හා පසු පෙළ සුනුවිසුණු කිරීමෙන් ප්‍රහාරාත්මක වේගය පල්ලම් බැසීම නවසීලන්ත පසු බැසීමට හේතුවිය.

මේ එක්දින තරගාවලියේදී පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් නායක චරිත් අසලංක මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, නවසීලන්ත ඉනිම යම් තරමකට ගොඩදැමූ මාර්ක් චැප්මන් පන්දු 81කදී හයේ 3ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය. එය චැප්මන්ගේ පළමු එක්දින අර්ධ ශතකය ලෙස ඉතිහාසයට එක් වූ අතර, අසිත ප්‍රනාන්දු එවූ පන්දුවකට වේගයෙන් උඩින් එල්ල කළ පහර ‘ඩීප් මිඩ්විකට්’හි සිට ඉදිරියට දිවවිත් ගුවනේ පාවී අවිශ්ක ප්‍රනාන්දු උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් චැප්මන් ක්‍රීඩාගාරයට ගියේය.

චැප්මන් සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 78කදී ලකුණු 75ක සබඳතාවක් ගොඩනැඟූ අංක 6 පිතිකරු මිචෙල් හේ පන්දු 61කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 49කට දැවී යෑමෙන් සිය මංගල එක්දින අර්ධ ශතකය අහිමිවී ගියේය. මේ තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු උඩ පන්දු 3ක් රැක ගැනීම විශේෂත්වයක් වූ අතර, ඔහුගේ පන්දු රැකීම වෙනදාට වඩා දියුණු මට්ටමකට පැමිණ ඇති බව දක්නට ලැබිණි.

දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගය හෙට (19) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.(දිනමිණ)

42.31%
17.27%
32.76%