March 4, 2025

2025 අයවැය යටතේ වෛද්‍ය නිලධාරීන් සඳහා අමතර තීරු බදු අනුපාත, රජයේ නිවාඩු ගෙවීම් සහ ඉරිදා දීමනාවේ යෝජිත අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් විසින් ගැනීමට සූදානම් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය නොදැක්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමි එම සංගමය පවසන්නේ, බාධාවකින් තොරව සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වා ගැනීම සඳහා තීරණාත්මක සේවයක නිරත වන වෛද්‍යවරුන් විසින් සිදුකරන අතිරේක සේවය, යෝජිත අයවැය සංශෝධන හරහා සැළකිව යුතු ලෙස අවතක්සේරු කරන බවයි.

කෙසේවෙතත්, රාජ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම සම්බන්ධයෙන් සිය සංගමය දැඩි අවධානයෙන් පසුවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

මෙම ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වීම මහජන සෞඛ්‍ය අංශයේ වෛද්‍ය විශේෂඥයන්ගේ දැඩි හිඟයකට තුඩු දෙන අභ්‍යන්තර හා බාහිර බුද්ධි ගලනයට දායක වී ඇති බව ද එම සංගමය අවධාරණය කරයි.

කෙසේවෙතත්, මෙම ගැටළු සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ වර්ධනය වන අතෘප්තිය පෙන්වාදෙමින්, හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මීට පෙර තීරණය කර තිබූ නමුත් පසුව එය මාර්තු 21 දක්වා  කල් දමන ලදී.