January 6, 2024

පොදුරාජ්‍ය මණ්ඩලයීය කථානායකවරුන්ගේ සහ මුලසුන් දරන්නන්ගේ 27 වැනි සමුළුවට සහභාගිවීම සඳහා උගන්ඩාවේ නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන උගන්ඩා ජනාධිපති යොවේරි කගුටා මුසවේනි, අගමැති රොබිනා නබ්බන්ජා සහ කථානායක අනීතා අමොන්ග් සමඟ සාකච්ඡාවල නිරත වී තිබේ.

කථානායකවරයා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ඔරියම් හෙන්රි ඔකෙලෝ ද හමුවිය.

සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම අරමුණු කරගත් කරුණු පිළිබඳ දෙපාර්ශ්වය අවධානය යොමුකර ඇත.

දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ අවබෝධය පෝෂණය කිරීම, අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර මෙම සංවාදයේදී ආවරණ කර තිබේ.

කථානායකවරයාගේ දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලාහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය කථානායකවරුන්ගේ සහ මුලසුන් දරන්නන්ගේ 27 වැනි සමුළුවට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ජනවාරි 3 වැනිදා උගන්ඩාවට පැමිණියහ.

මෙම සමුළුව පොදුරාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන ස්වෛරී රාජ්‍යවල ජාතික පාර්ලිමේන්තු කථානායකවරුන් සහ මුලසුන හොබවන නිලධාරීන් එක් කරයි.

එය 1969 දී එවක කැනඩා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූ Lucien Lamoureux ගේ මුලපිරීමක් ලෙස නිර්මාණය වී තිබේ.

42.31%
17.27%
32.76%