July 15, 2024

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලි ශුරතාව හතරවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤය සමත්ව තිබේ.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදි එංගලන්ත පාපන්දු කණ්ඩායම ගෝල 02 – 01ක් ලෙස පරාජයට පත් කරමිනි.

මේ අනුව යුරෝපා පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශුරතාව ජයගත් පාපන්දු කණ්ඩායම ලෙස ස්පාඤ්ඤය ඉතිහාසයට එක් විය.

එම වර්ෂ සටහන් වන්නේ 2008, 2010, 2012 සහ 2024 වශයෙනි.

මෙම තරගාවලිය ආරම්භයට පෙර ස්පාඤ්ඤය සහ ජර්මනිය ශුරතා තුන බැගින් ජය ගෙන සමතැන පසුවිය.

ජර්මනියේ බර්ලින් හි පැවති 2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේ පළමු අර්ධය නිමා වෙද්දි කණ්ඩායම් දෙකම කරටකර සටන් වැදුණේ කිසිදු ගෝලයක් වාර්තා නොකරමිනි.

කෙසේවෙතත් දෙවැනි අර්ධයේ 47 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වු ස්පාඤ්ඤයේ නෙකෝ විලියම්ස් ගෝලයක් ලබා ගනිමින් තම කණ්ඩායම ගෝල 1-0ක් ලෙස ඉදිරියට ගෙන ගියේය.

ස්පාඤ්ඤය ලබා දුන් එම අභියෝගයට ප්‍රතිඋත්තර දුන් එංගලන්තයේ කෝල් පාමර් 73 වැනි මිනිත්තුවේදී තරගය සම කරමින් ගෝලයක් වාර්තා කළේය.

ඒ අනුව අවසන් තරගයේදි කණ්ඩායම් දෙක ගෝල එකට එකක් ලෙස සමව පවතිද්දි ස්පාඤ්ඤය ආදේශ ක්‍රිඩකයකු ලෙස එක්කළ මිකෙල් ඔයර්සබාල් තරගයේ 86 වැනි මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කළේ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ යුරෝපා පාපන්දු කුසලාන තරගාවලි ඉතිහාසයේ පළමු ජයග්‍රහණ සිහිනය බිඳ දමමිනි.

ඒ අනුව,ස්පාඤ්ඤය ගෝල දෙකට එකක් ලෙස මෙවර යුරෝපා පාපන්දු කුසලාන ශුරතාව ජයගන්නා ලදී.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය ස්පාඤ්ඤයේ නෙකෝ විලියම්ස්ට හිමිවිය.